ටෙක් ලේඛන කලාව

 

තාක්ෂණික වෙබ් අඩවිකට ලිපි ලිවීම සුළු කොට තැකිය හැකිද? බොහෝ දෙනාට අනුව එය බලා ලිවීමකි. එය එසේමද? අපි විමසා බලමු.

පරිහානියට යන හෙළ බස

සිංහල භාෂාව අභාවයට යන කාලයක, සිංහල වෙබ් අඩවියක් යනු අනර්ඝ සම්පතකි. සිංහල භාෂාව අභාවයට යාම ඇරඹී ඇත යැයි කීවොත් ඔබ පිළිගන්නවාද? එය සත්‍යකි. නිවැරැදිව සිංහල අකුරු ගලපා වචන නොලියන සමාජයක් දැන් ලාංකීයයන්ගේ සමාජ ජාල ගිණුම් වල නිතර දැකිය හැක. පිල්ලම් අඩුව, සමහරවිට පිල්ලම් වැඩිය ආදී මූලික වැරදි වලින් ඇරඹී විශාල අක්ෂර වින්‍යාස වැරදි දක්වා මේවා විහිදී යයි. මෙම ලියමන ලියන මා අතින් ද ව්‍යාකරණ හෝ අක්ෂර වින්‍යාස දෝෂ ඇතිවිය හැක. මන්ද යත්, සිංහල ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාස දරුණු ගණයේ ඒවා වීම ය. එහෙත්, ප්‍රාථමික දරුවන් පවා නොවරදවන මූලික මට්ටමේ වැරදි වලට කෙසේ නම් සමාව දිය හැකිද?
 

සිංහලෙන් සුද්දාගේ තාක්ෂණය ලිවීම

සුද්දා විසින් ඉංග්‍රීසි බසින් ලියා තබන ඔවුන්ගේ තාක්ෂණය සිංහලයට හැරවීම අතිශය දුෂ්කර කටයුත්තකි. ශුද්ධ සිංහලයෙන් එවැනි ලිපියක් ලියුවොත් එය ලියන්නාට වත් වැටහේදැයි මම නොදනිමි. එබැවින් එවැනි ලේඛන අතරින් පතර ඉංග්‍රීසි යෙදුම් යෙදීමට සිදු වේ. එයද ලේඛනයට කරනා අසාධාරණයකි. එබැවින් සුද්දාගේ තාක්ෂණය ගැන හෙළ බසින් ලියනා ලේඛකයන් මුහුණ දෙන්නේ විශාල අභියෝග රැසකට ය. හැකි පමණ සිංහලයෙන් ලියා, පාඨකයාට වටහාගත හැකි වන ලෙස අතරින් පතරට ඉංග්‍රීසි වචන ඔබ්බවා අදාළ ලිපිය ලිවීමේ භාරදූර කර්තව්‍යය තාක්ෂණය පිළිබඳ ලියනා ලේඛකයාගේ හිස මත පැටවේ.

ඉංග්‍රීසි ලේඛනයක් දෙස බලා එය සිංහලයාට තේරෙන ලෙස ලිවීමේ දුෂ්කරකම දන්නේ එවැනි ලිපි ලියනා අයෙක්ම පමණි. ඉංග්‍රීසි යෙදුම් බොහෝ විට කෙටි සහ සෘජු අදහසක් එන ඒවා වුවත් ඒවා සිංහලයට පෙරළා ලිවීමේදී එසේ ලිවීම උගහටය. බොහෝ ඉංග්‍රීසි ලියවිලි සිංහලයට පෙරැළූ විට ඒවා දීර්ඝ ලියවිලි බවට පත් වේ. එවන් ලියවිලි අන්තර්ජාලය හරහා කියැවීමේදී බොහෝ පාඨකයන් ගේ ඉවසීම නැති වී යයි. ලියවිලි කෙටි වීමටද උවමනාය, එමෙන්ම ඉංග්‍රීසි ලියවිල්ලේ අන්තර්ගතය සිංහල ලියවිල්ලේද තිබිය යුතුය. පාඨකයාට ආකර්ෂණීය වන බස් වහරක්ද යෙදිය යුතුය. තාක්ෂණික කරුණු ගැන සිංහල බසින් ලිවීමේදී ලේඛකයන් මුහුණ දෙන පීඩනය දැන් ඔබට වටහාගත හැක.
 

බලා ලිවීම

බොහෝ දෙනා පවසන්නේ තාක්ෂණික වෙබ් අඩවි වෙත ලිපි ලියනා අය "බලා ලියන්නන්" කියා ය. සැබැවින්ම එය එසේ නොවේ. තමන් ලියනා ලියවිල්ල ගැන අවබෝධයක් ලේඛකයා වෙත තිබීම මූලිකම කරුණයි. ඔබට ඉංග්‍රීසි නවකතාවක් පහසුවෙන් සිංහලයට පෙරැළිය හැක. එහෙත් තාක්ෂණික කරුණු සහිත පාඩමක් වැනි ලියවිල්ලක් එලෙස ඔබට පහසුවෙන් ලියා දැක්විය නොහැක.

ඔබ ලියනා ලියවිල්ලේ නිරවද්‍යතාව ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ය. ප්‍රබන්ධයක් පරිවර්තනය කිරීමේදී එලෙස අවශ්‍ය නොවේ. බොහෝ විට, අදාළ මුල් ලියවිල්ලේ ගැටළු සහගත තැන් ලේඛකයාගේ දැණුමෙන් නිරවුල් කළ යුතුය. විශේෂ දත්ත වෙතොත් සොයා බලා ඒවා තහවුරු කරගත යුතු ය. තාක්ෂණික කරුණු සිංහලයෙන් ලිවීම කොහෙත්ම බලා ලීවීමක් නම් නොවේ.

අනෙක් වැදගත් කරුණ වන්නේ, මා විසින් ලියන ලද පාඩම් මාලා සහ මාගේ පෞද්ගලික මතයන් පිළිබඳ ලියවිලි කිසිම නිශ්චිත මූලාශ්‍රයකින් ලබාගත් ඒවා නොවීමයි. එලෙස නිශ්චිත මූලාශ්‍රයකින් ලබා ගැනීමට සිදු වන්නේ ප්‍රවෘත්තිමය වටිනාකමක්, එනම් News Value එකක් ඇති ලිපි පමණි. ඒවා තාක්ෂණික පුවත් ය. එවිට බොහෝවිට මා පෙර පැහැදිලි කළ ආකාරයට අදාළ ඉංග්‍රීසි ලිපියේ සිංහල අදහස සරලව දක්වා පාඨක ආකර්ෂණය සහිත ලියවිල්ලක් බවට එය පත් කිරීම සිදු වේ.
 

පසුවදන

ලේඛන කලාව යනු මා ඉතා ප්‍රිය කරනා විශයයකි. කුඩා කල පටන් මා පොත පත කෙරෙහි ආකර්ෂණය විය. පසු කලෙක මම පරිගණක තාක්ෂණය පිළිබඳ හටගත් ආලය හේතුවෙන් පොත පත මඳක් පසෙකට කර පරිගණකය සහ ජංගම දුරකථනය ළං කර ගතිමි.

පොත පතෙන් ඈත් වන තරුණ පිරිස් යොමු වන්නේ පරිගණකයට ය, නැතහොත් ස්මාර්ට් ජංගම උපාංගයට ය. එබැවින්, කාලයේ අවශ්‍යතාවය වන්නේ පොත පත ඩිජිටල්කරණය කිරීමයි. ලේඛනය දැන් යොමු විය යුත්තේ ඩිජිටල් අවකාශය වෙතයි. පොත පතෙන් ඈත් වන නව පරම්පරාව වක්‍රාකාරව පොත පතටම යොමු කිරීම පෑන් පොත් පසෙක තබා පරිගණක යතුරුපුවරු අතට ගත්, තාක්ෂණික පෙරළියකට මුහුණ දුන් අප පරම්පරාවේ වගකීමක් යැයි මම අදහමි. සිංහල භාෂාව රැකගනිමින්, සිංහලයෙන් තාක්ෂණික කරුණු ගැන ලිවීමට වෙර දරන සියළු ලේඛක පිරිස් වෙත මෙන්ම, සිංහල රුවකුරු, ෆොනුරූ හෙවත් ෆොන්ට් සාදමින් හෙළ බස ඩිජිටල්කරණය කරන්නාවූ සියල්ලන්ටම ද උපහාර වේවා!

Post a Comment

1 Comments

  1. සමස්ථයක් ලෙස ලිපියට එකඟ වුණත් මේ ගැන විරුද්ධ අදහස් කීපයක් මට තියනවා. මම භාෂාවට සලකන්නෙ සන්නිවේදන උපකරණයක් ලෙස පමණයි. භාෂාව මුලින් නිර්මාණය වුණෙත් ඒ අරමුණින්ම වුණත් පස්සෙ මිනිස්සු තමන් භාවින කරන භාෂාව තමන්ගේ අනන්‍යතාවයක් ලෙස භාවිත කරන්න පෙළඹුණා. සමහර දේශපාලකයන් "කැපුවත් කොළ", "කැපුවත් නිල්" කියනවා වගේ සමහර අය භාෂවත් ශරීරයේම කොටසක් ලෙස සලකනවා. මේ නිසා "භාෂාව" සංවේදී මාතෘකාවක්. සිතිවිලි සම්ප්‍රේශණය කරගන්න නිපදවුන සන්නිවේදන උපකරණයකට මේ ආකාරයට දේවත්වයක් ආරූඨ වුණ විදිය හිතාගන්න අමාරුයි. කොහොම වුණත්, සිංහල භාෂාව තවම අභාවයට යන්න අරන් කියලා මම හිතන්නෙ නෑ.

    > නිවැරැදිව සිංහල අකුරු ගලපා වචන නොලියන සමාජයක් දැන් ලාංකීයයන්ගේ සමාජ ජාල ගිණුම් වල නිතර දැකිය හැක.

    මේ කරුණ ඇත්තටම භාෂාවේ අභාවයට සංඥාවක් ද? සීගිරි බිතු සිතුවම්, පුස්කොළ පොත් වල කවි සහ නූතන සිංහලය එකිනෙකට වෙනස්. ඒ භාෂාව පරිණාමය වෙන නිසා. කිසිම කෙනෙකුට භාෂාවක් සඳහා නීති දමා තියන්න බෑ. පාසලෙන් මොන නීති ඉගැන්නුවත්, ආචාර්‍යවරු මොන නීති දැම්මත් සන්නිවේදනයට අර්ථයක් නොලැබෙන නීති භාෂාවෙන් හැලී යනවා. අද සමාජ මාධ්‍යවල දකින්න ලැබෙන්නෙත් මේකයි. භාෂාව කියන මෙවලම මිනිස්සුම භාවිත කරද්දි තමන්ට අවශ්‍ය විදිහට හැඩ කරගන්නවා. ඒ නිසයි භාෂව පරිණාමය වෙන්නෙ. එකවර නොදැක්කත්, කාලයට ගැලපෙන්න හිමින් හිමින් නව රීතිත් භාෂවට එකතු වෙනවා.

    > සුද්දා විසින් ඉංග්‍රීසි බසින් ලියා තබන ඔවුන්ගේ තාක්ෂණය සිංහලයට හැරවීම අතිශය දුෂ්කර කටයුත්තකි.

    මෙවැනි කටයුතු සඳහා මම භාෂාව ගැන සැහැල්ලු පිළිවෙතක් අනුගමනය කරනවා. මම තාක්ෂණික කරුණු ඉංග්‍රීසි අකුරෙන්ම තබනවා. ඒක පාඨකයාට කියවන්න පහසුවක්. අපි කතා කරද්දි Fan එකට "විදුලි පංකාව" කියලා කිව්වොත් අසන්නාට තේරුම් ගන්න අපහසුයි නේද? මම සන්නිවේදන කටයුත්ත සාර්ථකව සිද්ධ වෙන විදිහට ඉංග්‍රීසි අකුරු ඒ ආකාරයටම යොදනවා.

    සිංහල භාෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ ලංකාවෙ බහුතරය මේ භාෂාව භාවිත කරන නිසා. දෙවෙනි භාෂාව විදිහට ගොඩක් අයට ඉංග්‍රීසි පුළුවන් වුණත් අපි හැමෝටම පහසු සිංහලනෙ. භාෂාව නූතනයට ගැලපෙන්න පරිණාමය වුණත් පේන දුරකදි නම් අභාවයට යන ලක්ෂණයක් නෑ. දැන් පරිගණයක තාක්ෂණයෙදි වුණත් සිංහලට ලැබෙන සැලකිල්ල හොඳයි.

    ReplyDelete