MBps සහ Mbps අතර වෙනස.


මේකත් ඔන්න අහඹු පෝස්ට් එකක්. මේක ලියන්න හේතු වුණ කාරණාව තමයි ගොඩක් දෙනෙක් ගේ නොදැනුවත්කම. ඒ නොදැනුවත්කම නිසාම ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන් නිකරුණේ බැනුම් අහනවා. මම කියන්නෙ නෑ එයාලගෙ වැරදි නෑ කියලා, වැරදි ගොඩයි. ඒත් සමහරවිට එයාලා වරදක් නොකරත් බැණුම් අහනවා.

ඩයලොග් සමාඟම රට පුරා කටවුට්, බැනර් ගහලා කිව්වෙ 40Mbps වේගයක් සහිත 4G දෙනවා කියලා. ඒත් එච්චර වේගයක් අපේ නැත්තෙ ඇයි කියලා ගොඩක් අය ඩයලොග් එක මරන් කන්න ගත්තා. මෙහෙමයි, ස්පීඩ් එක අඩු වෙන්න තාක්ෂණික හේතු තියෙනවා, අනික එයාලා කිව්වේ 40Mbps මිසක් 40MBps නෙවෙයි නෙ. එතකොට මේ සිම්පල් b සහ කැපිටල් B අතර පැටළුණ වින්නැහිය මොකක්ද? හොඳයි අපි ඒක දැන් බලමු.

අපි මුලින් බලමු මේ කැපිටල් B, MBps කතාව.

MBps. (Mega Bytes per second) මෙතන MB කියන්නෙ MegaBytes කියන එක. අපි ගොඩක් අය දන්න හැටියට, මෙගාබයිට් වලින් මනින්නේ කිසියම් දත්ත ප්‍රමාණයක්. කිසියම් ගොණුවක සයිස් එකක්, කිසියම් ආචයන උපාංගයක නොහොත් Storage device එකක හිස් ඉඩ ප්‍රමාණයක් වගේ දේවල්.

උදාහරණයක් විදියට CD එකක 700MB පමණ දත්ත ගබඩා කරන්න පුළුවන්. මේ ඒකකය කුඩා නිසා, වඩා විශාල ගොණු වල හෝ උපාංග වල ප්‍රමාණය මනින්න GB නොහොත් GigaBytes කියන ඒකකයත් අපි ගන්නවා. මං ගාව 16GB පෙන් එකක් තියෙනවා කිව්වොත් ඒ කියන්නෙ මගේ ළඟ Gigabytes 16ක පමණ දත්ත තැන්පත් කරන්න පුළුවන් තරමේ USB පෙන් ඩ්‍රයිව් එකක් තියෙනවා කියන එක. මං හිතන්නෙ ඒක දැන් පැහැදිලියි.

ඔයා යනවා 100MB තරමේ යම් ගොණුවක් අන්තර්ජාලයෙන් බාගන්න. ඔයාගෙ ඉන්ටනෙට් කනෙක්ෂන් එකේ වේගය 1MBps නම්, තත්පර සීයක් ඇතුළත ඔයාට මේ ගොණුව බාගන්න පුළුවන්. ඒ මොකද කිව්වොත් 1MBps කියන්නෙ තත්පරයකට මෙගාබයිට් එකයි කියන එක. එතකොට අවුලක් වෙන්නෑනෙ. ඔතනින් ඔය MBps කතාව ඉවරයි.

එතකොට මොකක්ද මේ සිම්පල් b? Mbps?? 

Mbps (Mega bits per second). ඒක මෙහෙමයි. Computer Networking වල සම්මතයක් හැටියට එක් උපාංගයකින් තවත් උපාංගයකට වෙන දත්ත හුවමාරුවේ වේගය මනින්නේ MBps වලින් නෙවෙයි. Mbps වලින්. ඒ කියන්නේ තත්පරයට මෙගාබිට්. (බයිට් නෙවෙයි!) මේ දෙකේ සෑහෙන වෙනසක් තියෙනවා. බිට් සහ බයිට් වෙනස ගැන ඔයාලා දන්නවා. බිට් 8ක් බයිට් එකයි. චූටි කාලෙ IT කරනකොට අපිට මේක කියලා දුන්නා.

ඒ වගේම දරුවනේ,

8Mbps = 1MBps

ඒක සිංහලෙන් කිව්වොත්, තත්පරයට මෙගාබිට් 8ක්, තත්පරයට මෙගාබයිට් එකයි.

එතකොට දැන් තේරෙනවා ඇතිනෙ. මම ඇහුවොත් එතකොට 24Mbps කියන එක MBps වලින් කියන්න කියලා, ඔයාට තියෙන්නෙ 24 ÷ 8 කියලා බෙදාගන්න එක. 24 ÷ 8 = 3 යි. ඒ කියන්නෙ,

24Mbps = 3MBps

ඒ වගේම මම කිව්වොත් 2MBps කියන වේගය Mbps වලින් කියන්න කියලා, බොහොම සරලයි ඔයාට පුළුවන් ඒක 8 න් ගුණ කරන්න. 2 × 8 = 16 එතකොට,

2MBps = 16Mbps

විදියට අපිට ලැබෙනවා. ඔන්න එතකොට අපේ තියරි කොටස ඉවරයි. අපි දැන් යන්න හදන්නෙ ප්‍රැක්ටිකල් පැත්තට.

Dialog සමාඟම මේ කියන්නෙ මොකක්ද?

අපේ රටේ ප්‍රධානතම අන්තර්ජාල සේවා සපයන්නෙක් නොහොත් ISP කෙනෙක් වෙන ඩයලොග් සමාඟම කිව්වේ එයාලගෙ 4G වේගය 40Mbps කියලා නේ. අපි මේක දැන් අපේ දැණුම භාවිතා කරලා MBps වලට පරිවර්තනය කරමු.

40 ÷ 8 = 5

ඒ කියන්නෙ, 40Mbps = 5MBps කියන එක. අන්න එතකොට අපිට මේ ගැන පැහැදිලි අවබෝධයකට එන්න පුළුවන්.

මේ වේගයෙන් ඔයාලට පුළුවන් 200MB තරමේ ගොණුවක් තත්පර 40ක් ඇතුළත බාගත කරගන්න. ඒ කිව්වේ තත්පරයකට මෙගාබයිට් (MB) 5 බැගින් තත්පර 40ක් තිස්සේ බාගත වුණාම 5 × 40 = 200 නිසා.

ඒත් අපි හිතුවොත්, මගේ දත්ත වේගය 40Mbps නිසා මට මේ 200MB ගොණුව තත්පර 5න් බාගන්න පුළුවන් කියලා ඒක බොහොම වැරදි අදහසක් කියලා දැන් ඔයාලට තේරෙන්න ඕන. මොකද ගොණුවක දත්ත ප්‍රමාණය මනින්නේ මෙගාබයිට් වලින් නිසාත් මෙතනදි දත්ත වේගය මනින්නේ මෙගාබිට් වලින් නිසාත්. නොගැලපෙන ඒකක නිසා අපිට එන්නේ වැරදි අදහසක්.

හොඳයි මම මේ ගැන දීර්ඝ වශයෙන් පැහැදිලි කළා කියලා මම හිතනවා. දැන් මං හිතන්නෙ ඔයාලට හොඳ අවබෝධයක් ඇති මේ MBps සහ Mbps අතර හුටපටය ගැන.

කියන්න ඕන අනික් වැදගත්ම කාරණාවක් තමයි ප්‍රායෝගිකව බොහෝවිට අපිට ISP කියන වේගයටම යන්න බැහැ. 40Mbps කියලා කිව්වට, ඔයා අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඉන්නේ තනියෙන් නෙවෙයි නෙ. ඔයාට සේවා සපයන කුළුණට තව ගොඩක් අය සම්බන්ධ වෙලා ඉන්නවා. එතනදි Network traffic එකක් හැදෙනවා. පාරෙ ට්‍රැෆික් වගේම තමයි මේකෙදිත් වේගෙන් යන්න බෑ. ඉතින් මේක වෙනම මාතෘකාවක් නෙ. ඒ ගැන මට හැකි වුණොත් පසුවට ලියන්නම්. දැනට අපි කතාව නවතමු.

මොකක් හරි ගැටළුවක් ඇත්නම් පහළින් කමෙන්ට් එකක් දාන්න, ඔයා දන්න දේවලුත් අපිට කියන්න, ඒ වගේම මගේ යම් තැනක වැරැද්දක් ඇත්නම් පෙන්නලා දෙන්න. බොහොම අගය කරනවා එහෙම දෙයක් කරන්න හැකිනම්, ඒක මට ගොඩක් වටිනවා. එහෙනම් නැවත හමු වෙමු. ඔබට ජය!

***

Post a Comment

0 Comments