Star Wars සිංහලෙන් පැහැදිලි කරගනිමු.



StarWars යනු ඉතා විශාල පරාසයක පැතිරී තිබෙන කතාවක්. පසුගිය වසරේ එළිදැක්වුණු The Mandalorian TV series එකත් මෙම StarWars චිත්‍රපට මාලාව එනම් StarWars විශ්වය හා සම්බන්ධ වෙනවා. චිත්‍රපට 11ක සහ Animated TV series, comics ආදී විශාල ප්‍රමාණයක් බැලීම අතිශය වෙහෙසකර කටයුත්තක් වන බැවින්, The Mandalorian වැනි TV series එකක් බැලීමට ආශාව ඇති, StarWars විශ්වයේ තතු කෙටියෙන් දැනගැනීමට ආශාව ඇති අය සඳහා මෙම සටහන මෙසේ ලියා තබමි. මෙය මෙම චිත්‍රපට සියල්ල සහ TV series නැරඹූ නමුත්, ඒවායේ මතකය නැවත අවදි කර ගැනීමට කැමති ඔබටත්, StarWars විශ්වය පිළිබඳ අලුතින්ම දැනගැනීමට කැමති ඔබටත් විශාල පිටුවහලක් වනු ඇත.

ඔබගෙන් ඉල්ලා සිටින්නේ මෙහි ඇති වැරදි සොයා ඒවා නිවැරැදි කිරීමට උපකාර කරන ලෙසයි. මක් නිසාද යත්, මෙම කර්තව්‍යය අතිශය වෙහෙසකර සහ අසීරු කාර්යයක් වූ බැවිනි. Star Wars චිත්‍රපට නිකුත් වී ඇත්තේ Time line එකේ පිළිවෙළට නොවේ. එබැවින් ඒවා නිසි Time line එකකට ගෙන ඒමට සහ චිත්‍රපට වල නොමැති නමුත් Comics, TV Series, Animated Cartoon Series ආදී ඒවායේ අන්තර්ගතය සෙවීම සඳහා බොහෝ මූලාශ්‍ර පරිශීලනය කිරීමට සිදු විය. විශේෂයෙන් YouTube අඩවියේ තිබූ Screen Crush නමැති චැනලයේ තිබූ වීඩියෝව මෙය ලිවීම සඳහා බොහෝ උපකාරී විය. එසේනම්, අපි කථාව අරඹමු.

***

කථාව ඇරඹෙන්නේ බොහෝ ඈත අතීතයේ ඈත එපිට මන්දාකිණියක සිදු වන සිදුවීමක් ලෙසයි. එම මන්දාකිණියේ මනුෂ්‍යයින් සහ පිටසකවළ ජීවීන් සහිත දහස් ගණනක් වූ ග්‍රහ ලෝක තිබේ. ඒවා අතර අධි වේගයෙන් සංචාරය කළ හැකි විශේෂ අභ්‍යවකාශ යානා ඔවුන් සතුය.

මෙම බොහෝ ග්‍රහ ලෝක Galactic Republic නම් සමූහාණ්ඩුව යටතේ පාලනය වේ. එහි ප්‍රධාන පාලන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ Coruscant නම් ග්‍රහ ලෝකයේ ය. එම ග්‍රහ ලොව තනි විශාල නඟරයක් වැනි ය. මෙම සමූහාණ්ඩුව සඳහා වෙන්වූ හමුදාවක් නොමැති නමුත් මෙම Galactic Republic හි සාමය ආරක්ෂා කිරීම සඳහා මායා කරුවන් වැනි පිරිසක් සිටී. ඔවුන් හඳුන්වන්නේ Jedi Knights යන නමිනි.

මෙම Jedi වරුන් ඔවුන්ගේ බලය ලබාගන්නේ Force නොහොත් "බලය" ලෙස හඳුන්වන ශක්තියකිනි. මෙම ශක්තිය ලැබෙන්නේ මෙම මන්දාකිණියේ ජීවත් වන්නා වූ සියළු සජීවී දේ වලිනි. එම "බලය" නොහොත් Force එක මඟින් Jedi වරුන්ට විවිධ හැකියාවන් ලබා දෙයි. මනස පාලනය, මනස කියවීම, මනසින් දුර ඇති වස්තූන් චලනය කිරීමේ හැකියාව ආදී නොයෙකුත් හැකියාවන් ඒ අතරට අයත් ය.

මම Jedi වරුන් lightsaber නමින් හඳුන්වන ලේසර් කිරණ මඟින් ක්‍රියාත්මක වන කඩු විශේෂයක් භාවිතා කරයි. මෙම ලේසර් කඩු තලය බොහෝවිට ඕනෑම වස්තුවක් හරහා යාමට තරම් බලවත් වන අතර ලේසර් තුවක්කු (Blaster) වලින් නිකුත් වන ලේසර් උණ්ඩ පරාවර්තනය කිරීමට සමත් ය.

නමුත්, මෙම සමූහාණ්ඩුව මේ වන විට පවතින්නේ අසීරු අඩියකයි. මන්ද යත්, මෙම සමූහාණ්ඩුව සත්‍ය ලෙසම, අභ්‍යන්තරයෙන් පාලනය වන්නේ Trade Federation ලෙසින් හඳුන්වන වෙළඳ අධිකාරියක් හරහායි. මෙම වෙළඳ අධිකාරිය පාලනය වන්නේ Sith Lord යටතේ ය. ඔහුව හඳුන්වන්නේ Darth Sidious ලෙසයි. මෙලෙස Sith ලෙසින් හඳුන්වන අය Jedi වරුන්ගේම අඳුරු පැත්ත ලෙස හඳුන්වාදිය හැක. ඔවුන් ඔවුන්ට අවශ්‍ය ශක්තිය ලබාගන්නේ "අඳුරු බලය" හෙවත් Dark Force ලෙසින් හඳුන්වන බලයකිනි.

Darth Sidious විසින් Trade Federation වෙත නියෝග කරන්නේ, ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට පැමිණි Jedi වරුන් දෙදෙනෙකු වන Qui-Gon Jinn සහ Obi-Wan Kenobi යන දෙදෙනා මරා දමන ලෙස ය. එවකට Obi-Wan Kenobi යනු Qui-Gon Jinn යටතේ පුහුණ වන සිසුවෙකි. එනම් Padawan කෙනෙකි.

එමෙන්ම ඔහු Naboo නමින් හඳුන්වන ග්‍රහ ලෝකය, රොබෝ හමුදාවක් (Droid Army) යොදා ආක්‍රමණය කරන ලෙසද නියෝග කරයි. කෙසේ හෝ මෙයින් ගැලවෙන Jedi වරුන් දෙදෙනාට Jar Jar Binks ලෙසින් හඳුන්වන ගෙම්බෙක් වැනි පිටසකවළ ජීවියෙකු හමු වෙයි. ඔවුන් විසින් Naboo ග්‍රහ ලොවේ රැජිනිය වූ
Amidala බේරා ගන්නා අතර, එයට උපකාර වන්නේ R2-D2 ලෙසින් හඳුන්වන රොබෝවකි.

ඔවුන්ගේ යානයේ අළුත්වැඩියා කටයුත්තකට Tatooine නමැති ග්‍රහ ලොවේ නතර කරනු ලබයි. එහිදී ඔවුන්ට වහල් සේවය වශයෙන් රේස් කාර් රථ පදවන Anakin Skywalker නමැති දරුවෙක් මුණගැසේ. Qui-Gon Jedi වරයා විසින් මෙම දරුවාහට Force නොහොත් "බලයේ" ශක්තිය අන් සියල්ලන්ටම වඩා ඇති බව වටහා ගනී.

Qui-Gon ඇතුළු පිරිස මඟින් Anakin Skywalker දරුවා වහල් බවින් මුදවා, එම වරුවාත් රැගෙන, ඔහුගේ මව වෙත නැවත ඔහු එන පොරොන්දුව පිට එම ග්‍රහ ලොවින් පිට වෙයි. නමුත් ඔහු ආපසු සිය මව වෙත නොයයි. Anakin සහ Amidala රැජිනියගේ මෙහෙකාරියක් වන Padme දෙදෙනා හොඳ මිතුරන් බවට පත්වේ.

මේ අතරතුරදී, Jedi වරුන් හට Darth Maul මුණගැසෙන අතර, ඔහුගේ ස්වරූපය Sith ලෙසින් හඳුන්වන අඳුරු අධිපතියා මෙන් වූ නිසා Jedi වරුන් මහත් පුදුමයට පත් වේ. Sith නම් අඳුරු අධිපතියා මීට වසර දහස් ගණනකට පෙර මිය ගොස් ඇති අතර, එසේ නම් මෙම Darth Maul කවුදැයි යන්න විශාල ගැටළුවක් බවට පත් වේ. සැබැවින්ම Darth Maul යනු Sith ගේ අනුගාමික ශිෂ්‍යයා වේ.

පසුව, Jedi වරුන්, Anakin Skywalker සමඟ Coruscant (මුලින් විස්තර කළ) ග්‍රහ ලොව වෙත පැමිණෙන අතර ඔවුන්ට සෙනට් සභික, මව් ග්‍රහලොව Naboo වූ Palpatine නමැත්තා මුණ ගැසේ. Qui-Gon විසින් Anakin දරුවා Jedi කවුන්සිලය වෙත රැගෙන යයි. මේ Jedi කවුන්සිලය මෙහෙවනු ලබන්නේ Master Yoda විසිනි. Anakin යනු ඉතා බලවත් දරුවෙක් බවත්, මෙම දරුවා "බලය" සමබර කරනා, අනාගත වාක්‍යයේ සඳහන් "තෝරාගත් තැනැත්තා" බව සියල්ලෝම පිළිගන්නා ලදි.

මේ අතර, Naboo ග්‍රහ ලොව රැජින Amidala විසින් මැතිවරණයක් පවත්වන අතර, Palpatine මන්දාකිණියේ නව ජනපති ලෙස පත්වේ.

පිරිස නැවත Naboo වෙත යන අතර, එහිදී හෙළිවන්නේ මෙතෙක් Amidala ලෙසින් පෙනී සිටි රැජින සත්‍ය රැජින නොවන බවත්, රැජිනගේ අතවැසියා ලෙසින් පෙනී සිටි Padme නියම රැජින බවත් ය.

මෙහිදී විශාල සටනක් ඇති වන අතර Darth Maul විසින් Qui-Gon මරා දමයි. ඉන් පසු වන සටනේ දී Obi-Wan විසින් පළිගැනීමේ අරමුණෙන් Darth Maul දෙකඩ කොට දමයි. Anakin Skywalker, Obi-Wan යටතේ පුහුණුව ලැබීම ආරම්භ කරයි.

***

-වසර 10 කට පසු-

Count Dooku ලෙස හැඳින්වෙන Jedi වරයෙකු විසින් Jedi වරුන්ගේ සමාගම අතහැර, වෙනම ආණ්ඩුවක් ආරම්භ කළේ ඔවුන්ට Galactic Republic එක අතහැර වෙනම රාජ්‍යක් අවශ්‍ය බව දක්වමිනි. එය Confederacy of Independent Systems නමින් හඳුන්වන ලදි. ඔවුන්ට ඔවුන්ගේම රොබෝ හමුදාවක් ද තිබේ. මෙම බෙදුම්වාදී සංවිධානය නිසා යුධමය වාතාවරණයක් ඇතිවීමේ අවධානමක් ඇති විය.

මේ වන විට Padme රැජිණ සෙනට් සභිකයෙක් වී ඇති අතර, Jar Jar ද සෙනට් සභිකයෙක් වී ඇත. මේ අතර Padme ඝාතනය කිරීමට කළ සැලසුම් දෙකක් ව්‍යර්ථ වී යන ලදි. එම නිසා මේ වන විට නව යොවුන් වියේ සිටි Anakin Skywalker ගේ රැකවරණය සහිතව Padme සැඟවී පළා යයි. Jedi වරයෙකු හට ප්‍රේම සබඳතා තහනම් වුවත් Anakin Skywalker, Padme හට ප්‍රේම කිරීම අරඹයි.

මේ අතරතුර කවුන්සිලය විසින් Padme ඝාතන සැලසුම් ගැන සෙවීම සඳහා Obi- Wan පත් කරයි. එහිදී ඔහු Kamino නම් ග්‍රහ ලොවකට ගමන් කරයි. එහිදී Obi-Wan පුදුමයට පත්වන්නේ එහි සිටිනා රහස් හමුදාවක් දැකීමෙනි. Galactic Republic වෙනුවෙන් සාදා ඇති මෙම හමුදාව Jango Fett නම් Bounty Hunter වරයෙක් නොහොත් ත්‍යාග මුදල් ලබා ගැනීම සඳහා විවිධ දේ සිදු කරන පුද්ගලයෙකු ක්ලෝන කිරීමෙන් සාදා ඇත. Jango Fett නමැත්තා අතිශය ශක්තිමත් Mandalorian Armor එකක් නොහොත් ශරීර ආවරණයක් හැඳි තැනැත්තෙකි.

මේ අතරේදී Anakin Skywalker සහ Padme ඉතා සමීප වන අතර, Anakin විසින් Padme සිපගනී. එයින් ඔවුන් දෙදෙනා අතර ආදර සම්බන්ධය බිඳී යයි.

Anakin සිහිනයෙන් තම මව මිය යනු දකී. එයින් කලබල වන Anakin වහා Tatooine ග්‍රහ ලොව වෙත යයි. එහිදී ඔහුගේ මව මිය යනු දැක කුපිත වෙයි. එහිදී ඔහු San ගම්මානයක් සමූලඝාතනය කරයි. (San යනු කුලයක් වැනි දෙයකි. ඔවුන්ගේ නම් අගට San යන පදය යෙදේ.) ඉන්පසු Padme සොයා යන Anakin, ඔහු සිදු කළ සමූලඝාතනය ගැන පවසයි. එහිදී Padme හා Anakin අතර ආදර සම්බන්ධය අලුතින් ඇරඹේ.

මේ අතර, Count Dooku විසින් Obi-Wan සිරබාරයට ගනී. Anakin සහ Padme විසින් ඔහු බේරා ගැනීමට පිටව යයි. එහිදී ඔවුන්ට C-3PO නම් Protocol රොබෝව හමුවේ. Protocol රොබෝවක් යනු මිනිසුන් මෙන් හැසිරෙන, සංවේදන සහිත රොබෝවරුන් ය. මෙම රොබෝව එකලස් කරන ලද්දේ Anakin කුඩා කාලයේ දී ය.

Jar Jar විසින් යෝජනා කළ පරිදි, Palpatine හට හදිසි අවස්ථාවක භාවිතා කළ හැකි හමුදාවක් ලබා දුනි. එම හමුදාව නම්, පෙර සඳහන් කළ ක්ලෝන හමුදාවයි.

පසුව, Galactic Republic හි ක්ලෝන හමුදාවත්, Count Dooku ගේ රොබෝ හමුදාවත් අතර විශාල යුද්ධයක් ඇති වේ. එම යුද්ධය සිදු වන්නේ Geonosis ග්‍රහ ලොවේ දී ය. මෙහිදී Jedi වරුන් ක්ලෝන හමුදාවට නායකත්වය සපයයි. යුද්ධයේදී ක්ලෝන හමුදාව සෑදීමට යොදාගත් Jango Fett මිය යන නමුත් ඔහුගේ ක්ලෝන පුත් Boba Fett විසින් ඔහුගේ හෙල්මටය අහුලා ගනී. Dooku විසින් Anakin ගේ අත කපා දමයි. Master Yoda මැදිහත් වී Anakin ගේ දිවි බේරාගන්නා නමුත්, Dooku පැන යයි.

Dooku විසින් Darth Sidious හට සුපිරි ආයුධයක සැලසුම් Coruscant හිදී භාර දෙන අතර Anakin සහ Padme රහසේම විවාහ වේ.

***

ක්ලෝන යුද්ධ අතරතුරදී Anakin Skywalker පූර්ණ Jedi වරයෙකු බවට පත් වූ අතර ඔහුගේම Padawan කෙනෙකු නොහොත් සිසුවෙකු තබා ගැනීමට තරම් පරිණත වෙයි. ඔහු තෝරාගන්නා සිසුවා වන්නේ Ahsoka Tano නම් තරුණියකි.

මේ වන විට ක්ලෝන සහ රොබෝවන් අතර යුද්ධය ඇවිලී යයි. මන්දාකිණිය පුරා සටන් පැතිරෙයි. බෙදුම්වාදී කල්ලියට නායකත්වය දෙනු ලැබුවේ General Grievous නම් අත් සතරක් ඇති අර්ධ රොබෝ, අර්ධ පිටසකවලයෙක් විසිනි. ඔහුගේ අත් හතරින් lightsaber (ලේසර් කඩු) හතරක් පාලනය කිරීමට හැකියාවක් ඇත.

Ryloth නමින් හැඳින්වෙන ග්‍රහ ලොවක දේශීය නිදහස් සටන් කාමියෙකු වූ Cham Syndulla ඔහුගේ ග්‍රහ ලොවෙන් බෙදුම්වාදී කල්ලි එළවා දැමීමට සහ රොබෝවන්ට එරෙහිව සටන් කරන ලදි.

Mon Cala නම් ග්‍රහ ලොවක තරුණ රජු වන Lee-Char සහ ඔහුගේ උපදේශක හට Jedi විසින් උපකාර කර, සිවිල් යුද්ධයක් වළක්වා රොබෝවන් එම ග්‍රහ ලොවෙන් එළවා දැමීය.

Alderaan නම් ග්‍රහ ලොවක සෙනෙට් වරයෙකු වූ Bail Organa, Anakin සමඟ රහසිගත විවාහයක් සිදු කරගෙන සිටි Padme සමඟ මිතුරු විය. මුදා ගැනීමේ මෙහෙයුමක් අතරතුරදී Tarkin නමැති හමුදා නිලධාරියෙක් හඳුනා ගැනීමට Anakin ට හැකි විය.

Jango Fett ගේ ග්‍රහ ලොව වන Mandalore ගහ ලොව යුද්ධයේ දී උදාසීන පිළිවෙතක් අනුගමනය කරන ලදි. ඔවුන්ව පාලනය කරන ලද්දේ Satine Kryze නම් කාන්තාව විසිනි. ඇය හා රහස් ආලයක් Obi-One හට පැවතුණි. එහි Mandalorian වරුන්ගෙන් සැදි ත්‍රස්තවාදී කල්ලියක් වූ Death Watch සමඟ ඔවුන් සටන් කළහ. Death Watch කල්ලියට අවශ්‍ය වූයේ ඔවුන්ගේ ග්‍රහ ලොවේ නැවත ත්‍රස්තය ඇති කිරීමටයි.

මේ කාලය තුළ Darth Maul දෙකට වෙන් කළත් ඔහු මරණයට පත් නොවූ බව දැනගැනීමට ලැබුණි. ඔහු Mandalore හි පාලනය තමන්ට ගැනීමට සටන් කරන ලදි. එහිදී ඔහු සිටියේ පළිගැනීමේ චේතනාවෙනි. Darth Sidious විසින්ද Darth Maul ට පහර දුන් අතර, Darth Maul විසින් Obi-Wan ගේ රහසිගත ආලය වූ Satine මරා දමන ලදි.

මේ සෑම සටනක් නිසාම Jedi වරුන් ඔවුන්ගේ අරමුණෙන් ඉවතට යොමු වූ අතර, ඔවුන් සාමය ආරක්ෂා කරනු වෙනුවට යුද්ධ කළෝය. යුධ අපරාධ සිදු කිරීමේ චෝදනා මත එක් Jedi වරයෙක් ඔවුන්ගේ සංගමයෙන් එළවීමට පවා සිදු විය.

Ahsoka Tano මේ අතරතුර දක්ෂ සටන්කාමී කාන්තාවක් විය. නමුත් ඇය නොකළ වරදකට කොටු විය. Jedi කවුන්සිලය විසින් ඇය සිරගත කළත්, පසුව ඇගේ නිර්දෝශී භාවය ඔප්පු කර ඇය නිදහස් විය. පසුව Jedi වරුන් ගැන කළකිරුණු සිතින් ඇය Jedi වරුන් හැර යන ලදි. මෙම කරුණ නිසා Anakin හට Jedi කවුන්සිලය නුරුස්සන්නට විය.

***

මෙම කාලය වන විට සෙනෙට් සභාව ඔවුන්ගේ ව්‍යවස්ථාව වෙනස් කරමින් Palpatine හට තව තවත් බලය වැඩි කරන්නට විය.

බෙදුම්වාදීන් මේ වන විට සිටියේ පරාජය පෙනෙන මානයේ ය. නමුත් සෙනෙට් සභාවේ තීරණය වූයේ Grievous ජීවත්ව සිටන තාක් කල් යුද්ධය රැගෙන යා යුතු බවයි. එනම් යුද්දය නැවතීමට නම් Grievous මිය යා යුතුය.

Grievous විසින් Palpatine පැහැරගෙන යනු ලැබීය. නමුත් Anakin සහ Obi-Wan එක්ව ඔහුව බේරා ගනු ලැබීය. Obi-Wan සිහි විසඥ්ඥ වී සිට අවස්ථාවක Chancellor නොහොත් Palpatine විසින් Dooku ඝාතනය කරන ලෙස යෝජනා කරන ලදි. යෝජනාව පිළිගත් Anakin, රතු සහ නිල් පැහැති lightsabers දෙකක් දෑතින් ගෙන Dooku මරා දැමීය.

Master Yoda මේ අතරදී Kashyyyk වෙත යන ලදි. ඒ රොබෝවන් සමඟ සටනට ය. Kashyyyk යනු වානරයන් වැනි ජිවීන් සිටිනා ග්‍රහ ලොවකි. ඔවුන් හඳුන්වන්නේ Wookies ලෙසයි. Obi-Wan පිටත් වී යන්නේ Grievous මරා දැමීමටයි.

මේ වන විට Padme ගැබ් ගෙන සිටී. Anakin විසින් සිහිනෙන් දකින්නේ, දරු උපතේදී Padme මිය යන බවයි. Anakin ගොස් Palpatine හමුවී අමරණීය භාවය ගැන දැන සිටි Sith Lord ගැන විමසයි. Sith Lord හට, අවශ්‍ය නම් ඔහුගේ ප්‍රියයන් පවා අමරණීය කළ හැකි බව Anakin හට දැනගැනීමට ලැබෙයි. ඒ අතරදී Anakin හට සත්‍ය අවබෝධ වේ, එනම්, Sith Lord යනු වෙනකෙක් නොව, Palpatine බවයි.

Sith Lord අත්අඩංගුවට ගැනීම සඳහා Windu Jedi වරයා සූදානම් වුවත්, Anakin ගේ අදහස් වෙනස් වී ඔහු Sith Lord වෙත පක්ෂ වීමට තීරණය කරන ලදි. Anakin ගේ නම Darth Vadar ලෙස වෙනස් වූ අතර ඔහු අඳුරු බලයට යටත් විය. එමෙන්ම ඔහු Palpatine හා එක්ව Jedi වරුන් මරා දැමීය. පුහුණු වෙමින් සිටි කුඩා Jedi දරුවන් ද ඒ අතර විය.

මේ සියල්ල වෙද්දී Obi-Wan විසින් Grievous ව මරා දමා ජයග්‍රහණය කරන ලදි. නමුත් මේ වන විට Emperor හෙවත් අධිරාජ්‍යයා ලෙස හැඳින්වූ Palpatine විසින් ක්ලෝන හමුදාවන්ගේ හිසෙහි තිබූ චිපයක් වෙත විධානයක් නිකුත් කරන ලදි. එයින් කියැවුණේ Jedi වරුන් මරා දමන ලෙසයි.

Obi-Wan සහ Yoda, Chewbacca නම් Wookie ගේ උදව්වෙන් පැන යන ලදි. Jedi වරුන්ගේ පහරදීම හේතුවක් කරගත් Palpatine, ඔහු විසින් ඔහුවම Galactic Emperor ලෙස නම් කරගන්නා ලදි. මෙම පත්වීම ගැන Padme සහ ඇයගේ මිත්‍ර Bail Organa සතුටු වූයේ නැත.

Yoda සහ Obi-Wan බෙදී යන ලද්දේ Sith Lords හෙවත් Dark Loads දෙදෙනෙක් වන Palpatine හෙවත් Emperor සහ Darth Vadar සමඟ සටන් කිරීමටයි. මෙම සටන් අතරතුරදී Anakin වරදවා වටහාගනු ලැබුවේ Padme ඔහුට ද්‍රෝහී වූ බවයි.

Emperor විසින් Yoda පරාජය කළ අතර ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතනය වූ එම ගොඩනැඟිල්ල විනාශ කර දමන ලදි. සටන අතරතුරදී සිරුර පිළිස්සුණු Anakin ගේ දිවි බේරා ගැනීමට Obi-Wan හට ඔහුගේ ගිණි ඇවිළුණු සිරුරේ අවයව කපා දැමීමට සිදු විය. පසුව, Padme විසින් නිවුන් දරුවන් ප්‍රසූත කළ අතර, බිඳුණු සිත් ඇතිව ඈ මිය යන ලදි.

Darth Vadar ගේ දිවි රැක ගැනීම සඳහා ඔහුව රොබෝ සිරුරකට දැමූ අතර, ඔහු Emperor ගෙන් Padme ගැන විමසා සිටි විට Emperor ඔහුට පවසන ලද්දේ Darth Vadar විසින්ම Padme මරා දැමූ බවයි.

Anakin නොහොත් Darth Vadar ට දාව, Padme ගේ කුසේ උපන් නිවුන් දරුවන්ගේ ගැහැණු දරුවාට Leia ලෙසත්, පිරිමි දරුවාට Luke ලෙසත් නම් තබන ලදි. Darth Vadar ගෙන් ආරක්ෂා කරගැනීම පිණිස මේ දෙදෙනා වෙන් කරන ලදි. Leia කුඩා බිළිඳිය Bail Organa විසින් රැකබලා ගැනීම සඳහා Alderaan ග්‍රහලොව වෙත යැවූ අතර, Luke බිළිඳා Owen Lars හට භාර වුණි. Owen Lars යනු Anakin Skywalker ගේ මව වූ Shmi Skywalker, පසුව විවාහ වූ Cliegg Lars සහ Aika ගේ පුත්‍රයා යි. Owen Lars ජීවත් වූයේ Tatooine ග්‍රහ ලොවේ ය. එබැවින් Luke එහි යැවුණි. Obi-Wan, Luke ගේ නිවස සමීපයේ ජීවත් වූ අතර Luke ගැන අවධානයෙන් පසු විය.

 Anakin හෙවත් Darth Vadar, Emperor නොහොත් Palpatine සහ Tarkin විසින් ඔවුන්ගේ නව සුපිරි අවියක් සෑදීම ආරම්භ කළා. එය සැලසුම් කරන ලද්දේ Galen Walton Erso නමැති විද්‍යාඥයකු විසින්. පසුව Galen මෙම ව්‍යාපෘතිය අතහැර යාමට උත්සාහ කළත්, Emperor නොහොත් අධිරාජ්‍යයා විසින් ඔහුව පැහැරගනු ලැබුවා. ඔහුගේ දියණිය වූ Jyn Erso හැදී වැඩුණේ Saw Gerrera නම් Clone යුද්ධ වලදී සටන් කළ පළපුරුදු සටන්කාමියෙකු ළඟ ය. එබැවින් ඇය හැදී වැඩුණේ සටන්කාමී කාන්තාවක් ලෙසිනි.

***

මේ අතරතුර Corellia නම් ග්‍රහ ලොවේ සිටිනා තරුණයෙකු වන Han උත්සාහ කරමින් සිටින්නේ ඔහුගේ පෙම්වතිය වන Qi'ra සමඟ Corellia ග්‍රහ ලොවෙන් පැන යාමටයි. ඔහු එම ග්‍රහ ලොවෙන් පිට වී යන්නේ අධිරාජ්‍යයේ හමුදාවට බැඳීමෙනි. එහිදී ඔහුට Solo යන දෙවැනි නම පටබැඳුනි. එලෙස ඔහු Han Solo නම් විය. එකල්හි ඔහුට Chewbacca හමුවූ අතර ඔවුන් දෙදෙනා අතිජාත මිත්‍රයන් විය. පසුව ඔවුන් දෙදෙනා මංකොල්ල කෑම් වලට සහභාගි විය. එලෙස සිදු කළ මංකොල්ලයකදී ඔවුන් දෙදෙනා Crimson Dawn වෙත යැවුණු අතර Crimson Dawn යනු අපරාධ සිදු කරන සංවිධානයකි. එහිදී ඔහුට ඔහුගේ පැරණි පෙම්වතිය වන Qi'ra හමුවේ. ඇය දැන් සේවය කරන්නේ Crimson Dawn සඳහා ය.

Crimson Dawn වෙත ලබාදීම සඳහා ඉන්ධන සොරකම් කිරීමට ඔවුන් දෙදෙනාට සිදු වන අතර ඒ සඳහා ඔවුන් Lando Calrissian නම් සූදු ක්‍රීඩාවට ලොල් වූ තැනැත්තා ගේ උපකාර ලබා ගනී. එමෙන්ම එයට රොබෝවෙකුගේ ද උපකාර ලබාගනී. ඔවුන් මේ සඳහා යොදාගන්නේ Millennium Falcon ලෙස හඳුන්වන Lando ට අයත්, මුළු මන්දාකිණියටම ඇති වේගවත්ම යානයකි. ඉතා අසීරුවෙන් අධිරාජ්‍යයා ගෙන් ගැලවී ඒමට ඔවුන් සමත් විය.

එහිදී ඔවුන් Rebels (කැරලිකරුවන්) හෙවත් Alliance to Restore the Republic කණ්ඩායමේ සාමාජිකයන් හමු වේ. මෙම කණ්ඩායමේ අරමුණ වන්නේ නැවතත් Galactic Republic හෙවත් මන්දාකිණි සමූහාණ්ඩුව නැවත පිහිටුවීමයි. මොවුන් Emperor නොහොත් අධිරාජ්‍යයාට එරෙහි වූවන් ය. Han Solo ඇතුළු පිරිස ඔවුන්ට උපකාර කරන අතර ඔවුන්ට එකතු නොවේ.

Han විසින් Lando සමඟ කළ කාඩ් තරඟයකින් Lando පරදවා Millennium Falcon යානාව ඔහු සතු කරගනී. ඉන්පසු Han Solo සහ Chewbacca එකතුව ඔවුන්ගේ වීර චාරිකා සඳහා මෙම යානය යොදාගනී. නමුත් Qi'ra තීරණය කරන්නේ අපරාධ කල්ලියේ දිගටම රැඳී සිටීමටයි. මෙම Crimson Dawn කල්ලිය සත්‍ය ලෙසම මෙහෙයවන්නේ Darth Maul විසින් බව එහිදී පෙනී යයි.

***

මෙවිට, බොහෝ දෙනා Empire නොහොත් අධිරාජ්‍ය කෙරෙහි අසතුටින් පසු වූ අතර, මන්දාකිණියේ තැන් තැන් වල කුඩා කණ්ඩායම් වශයෙන් රැස්වී අධිරාජ්‍ය විරෝධී ලෙස හැසිරීම ඇරඹී ය.

මෙලෙස විරෝධය ඇරඹි එක් ග්‍රහ ලොවක් වන්නේ Ryloth ය. මෙහි සිටි Rebels ලා නොහොත් කැරලිකරුවන්ට නායකත්වය දෙන ලද්දේ Hera Syndulla විසිනි. ඇය Clone යුද්ධයේ සටන් කළ Cham Syndulla ගේ දියණියයි. මොහු පිළිබඳ අප කලිනුත් සාකච්ඡා කළා. මොවුන් විසින් කුඩා ප්‍රමාණයේ ආක්‍රමණ සිදු කරමින් අධිරාජ්‍යයා කුපිත කරමින් සිටියා.

මෙම කැරලි කණ්ඩායමේ සිටි අය අතර Kanan Jarrus නොහොත් පෙර Jedai Padawan කෙනෙක් ලෙස සිටි අයෙක්, එමෙන්ම Zeb Orrelios සහ Chopper නොහොත් C1-10P යන රොබෝව සහ Sabine Wren යන Mandalorian කාන්තාව අයත්. පසුව මෙයට Ezra Bridger එකතු වන ලදි. ඔහු හට Jedi වරුන් හට මෙන් බලයක් පැවතුණ බව පසුව දැනගත්තේ Kanan Jarrus විසිනි. ඉන්පසු Kanan විසින් Ezra ව Jedi වරයෙක් වීම සඳහා පුහුණු කරන ලදි.

පසුව, ඔවුන් විසින් අනෙක් කැරලිකාර කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ අතර, Bail Organa, ඔහුගේ දියණිය ලෙස සිටි Leila නොහොත් Darth Vadar ගේ දියණිය මෙන්ම Ahsoka Tano සමඟද ඔවුන් සම්බන්ධ විය. මෙම එකමුතුව Rebel Alliance ලෙස හඳුන්වන ලදි.

මේ අතර Ahsoka Tano සහ Darth Vadar අතර සිදු වූ සටනක් අතරතුර Ahsoka Tano මරණයට පත් කිරීමට උත්සාහ කරන අතර, Ezra විසින් ඇයව බේරා ගන්නේ කාලය හරහා ගමන් කිරීමෙනි. ඔහු මෙම කාලය හරහා ගමන් කිරීම සිදු කරන්නේ World Between Worlds එනම් ලෝකයන් අතර ලෝකය නම් ස්ථානයකිනි.

වසර කීපයකට පසු ඔවුන්ට Darth Maul මුණගැසෙන අතර ඔහු Ezra ව අඳුරට පොළඹවා ගැනීමට උත්සාහ කරයි. නමුත් Obi-Wan විසින් ඔහු මරා දමයි.

Sabine විසින් ඇයගේ කුලය වූ Mandalore කුලය ඒකරාශි කරගැනීමට වෙහෙසුණු අතර, Hera Syndulla විසින් කැරලිකරුවන් ඒකරාශි කරමින් විශාල වශයෙන් අධිරාජ්‍ය වෙත සේවය කළ ගුවන් නියමුවන් (Wedge Antilles වැනි) බඳවාගන්නා ලදි. එමෙන්ම X-Wing Starfighter ලෙස හඳුන්වන යුධ යානා ආදී නොයෙක් යානාවන් එකතු කර ගන්නා ලදි.

කලකින් Kanan මිය යන අතර, Hera හට දරුවෙක් සිටී. විශාල අධිරාජ්‍යයේ සතුරන් පිරිසක්ද සමඟ Ezra අතුරුදන් වන අතර එයින් ඔහුගේ ග්‍රහලොව අධිරාජ්‍යයෙන් මුදවාගැනීමට ඔහු සමත් වෙයි. Sabine සහ Ahsoka Tano අතුරුදන් වූ Ezra සොයා පිටත් වේ.

***

අධිරාජ්‍යයා Mandalore ග්‍රහලොවට එරෙහි විශාල සටනක් මෙහෙයවීය. එය Great Purge ලෙසින් හැඳින්වේ. Mandalore හි තිබූ Beskar නම් ලෝහය අධිරාජ්‍යයා විසින් සොරකම් කරන ලදි. Beskar යනු Mandalorian හි සටන්කාමීන් ඔවුන්ගේ සන්නාහය සඳහා යොදාගත් ලෝහයයි. එය ඉතා ශක්තිමත් ලෝහයකි. මෙම සංහාරයේදී බොහෝ Mandalorian සටන්කාමීන් මිය ගිය අතර, ඉතිරි වූ කීප දෙනා එකතුවී කණ්ඩායමක් සෑදී ඔවුන්ගේ හිස් ආවරණ කිසිදා නොගැලවීමට දිවුරුම් දෙන ලදි.

***

අධිරාජ්‍යයා විසින් නිපදවමින් සිටි සුපිරි අවිය ගැන කැරලිකරුවන් කණස්සල්ලට පත්ව සිටි අතර මෙම අවිය හැඳින්වූයේ Death Star යන නමිනි. මෙම අවිය මඟින්, සම්පූර්ණ ග්‍රහ ලොවක් පුපුරවා විනාශ කළ හැකිය. මෙම අවියේ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබුවේ Orson Krennic සහ මින් පෙර අපි සාකච්ඡා කළ Tarkin යටතේ ය. Tarkin දැන් Grand Moff කෙනෙකු ලෙස උසස්වී ඇත.

මෙයට විසඳුමක් ලෙස කැරලිකරුවන් විසින් Jyn Erso ඔවුන් වෙත බඳවාගනී. මක් නිසාද යත්, Jyn Erso යනු Death Star සැලසුම් කළ Galen Erso ගේ දියණිය වීමයි. Jyn Erso විසින් Rouge One නම් කණ්ඩායම හා එක්ව ඇයගේ පියා සොයා ගනී. ඔහු විසින් Death Star හි සැලසුම් සොයාගන්නා ආකාරය සහ එහි දුර්වල ස්ථානයක්ද ඇති බව අනාවරණය කරයි. එම දුර්වලතාව Galen Erso විසින් සිතාමතාම එය පහසුවෙන් විනාශ කිරීම සඳහා සැලසුම් කරන ලද්දකි.

මේ වන විට Rebellion නොහොත් කැරලි කණ්ඩායම පවතින්නේ Bail Organa සහ Mon Mothma ගේ නායකත්වය යටතේ ය. Scarif නම් ග්‍රහලොවේදී අදාළ සැලසුම් අත්පත් කර ගැනීම පිණිස යුද්ධයක් ඇති වෙන අතර, එහිදී Rebellions හට ජයග්‍රහණය හිමි වේ. නමුත් එහිදී Jyn Erso සහ කණ්ඩායමට මෙන්ම Orson Krennic ටද මිය යාමට සිදු විය.

මෙසේ ලබාගන්නා ලද සැලසුම් Leia කුමරිය හට ලැබුණ අතර, Darth Vadar විසින් එම සැලසුම් නැවත ලබාගැනීමට කළ උත්සාහය ව්‍යර්ථ විය. Leia මීළඟට Tatooine ග්‍රහලොව වෙත පිටත්ව යන්නේ Obi-Wan ව හමුවී ඔහුවද කැරලිකරුවන් හට එක් කර ගැනීමටයි. නමුත් එහිදී ඔහු අධිරාජ්‍යයා යටතට පත් වන අතර එහිදී Death Star හි සැලසුම් ඇය R2D2 නම් රොබෝවගේ මතකයේ තැන්පත් කරයි. R2D2 සහ C-3PO යන රොබෝවන් දෙදෙනා එතැනින් බේරී යන ලදි.

Darth Vadar විසින් අල්ලා ගන්නා ලද Leia නැවත Death Star වෙත රැගෙන යයි. පළා යන ලද R2D2 සහ C-3PO යන රොබෝවන් Jawas යනුවෙන් හඳුන්වනු ලබන කසල එකතු කරන්නන් පිරිසකට හසු වේ. වාසනාවකට මෙන්, Jawas විසින් එම රොබෝවන් විකුණනු ලබන්නේ Owen Lars හටයි. තරුණ Luke Skywalker හදා වඩා ගනු ලැබුවේ ඔහු විසිනි.

Luke සිටින්නේ Tatooine ග්‍රහ ලොවේ සතුටකින් නොවේ. ඔහු ජීවත් වූ Owen ට අයත් ගොවිපළ හැර දමා යාමට ඔහු කැමැත්තෙන් සිටියත් Owen විසින් ඊට ඉඩ ලබා දෙන්නේ නැහැ. Luke හට ගොවිපලෙන් පිටවී ඉගෙනීමට යාමට අවශ්‍ය බවත්, රොබෝවන් හරහා ඉල්ලුම්පත් යැවීමට අවශ්‍ය බව පැවසූවත් එයටත් ඔහුට ඉඩ නොලැබේ. Tatooine ග්‍රහ ලොවේ ඇති නිවුන් සූර්යයන් දෙදෙනා දෙස බලමින් Luke Skywalker නිතරම සිතුවේ මෙයින් පිට ඇති ලෝක වලට යාමටයි.

මේ අතර ඔහු විසින් Leia කුමරිය විසින් R2D2 රොබෝවේ මතකයෙහි සඟවා තබනු ලැබූ පණිවිඩය Luke විසින් සොයා ගනී. එමෙන්ම ඔහු විසින් Obi-Wan වද හඳුනා ගනී. ඔහු පෙනී සිටින්නේ Ben නමිනි. Luke Skywalker කුඩා කල සිට ඔහු ගැන පරීක්ෂාවෙන් සිටීමට Obi-Wan, Tatooine ග්‍රහලොවේ නැවතුණු බව අපි මින් පෙර සාකච්ඡා කළා. මේ වන විට Obi-Wan සිටියේ මහළු වයසේ යි. Ben ලෙසින් පෙනී සිටි Obi-Wan, Luke හට Force නොහොත් "බලය" ගැන කියා දෙන අතර, Luke ගේ ඉතිහාසය ගැන අර්ධ වශයෙන් සත්‍ය වූ කතාවක් පවසයි.

ඔහු Luke ට පවසන්නේ, තරුණ Jedi වරයෙකු වූ Darth Vadar විසින් Luke ගේ පියා ඝාතනය කළ බවයි. මෙහිදී Stormtroopers විසින් Luke ගේ පවුල ඝාතනය කරනු ලබයි. Stormtroopers යනු Clone හමුදාව අධිරාජ්‍ය පාලනය යටතට පත් වූ පසු භාවිතා වූ නාමයයි. ඔවුන් දැන් සේවය කළේ Emperor නොහොත් අධිරාජ්‍යයාටයි. Luke ඉන්පසුව Obi-Wan සමඟ Alderaan වෙත පිටව යයි.

අභ්‍යවකාශ තැබෑරුමකදී ඔවුන්ට Han Solo හා ඔහුගේ මිතුරු Chewbacca මුණගැසේ. ඔවුන් තවමත් මංකොල්ල කෑම් සිදු කරමින් සිටී. Han ඒ වනවිට විශාල මුදලක් ණය වී සිටියේ Jabba ලෙසින් හඳුන්වන අපරාධ කල්ලි නායකයා වෙතයි. මෙම ණය ගෙවීමට තිබූ උවමනාව නිසා ඔහු Luke සහ Obi-Wan දෙදෙනා Alderaan වෙත ඉතා වැඩි මිළකට ගෙන යාමට එකඟ වේ. ඔවුන් සතුව තවමත් ඇත්තේ Millennium Falcon යානයයි.

නමුත්, Alderaan ග්‍රහ ලොව Death Star අවිය මඟින් පුපුරුවා හරී. අධිරාජ්‍යයා දැන් සූදානම් වන්නේ Leia මරා දැමීමටයි. නමුත් Death Star වෙත ඇතුළු වන Han Solo, Chewbacca, Luke Skywalker සහ Obi-Wan පිරිස අයව බේරාගනී. Darth Vadar විසින් Obi-Wan මරා දමන නමුත්, ඔහු බලයේ කොටසක් බවට පත් වේ. ඔහුගේ මිය ගිය ශරීරයක් ඉතිරි වන්නේ නැත.

මොවුන් විසින් නැවත Death Star හි සැලසුම් කැරලිකරුවන් වෙත ගෙන යන අතර, Death Star විනාශ කිරීම සඳහා හමුදාවක් පිටවී යයි. මෙම හමුදාවට Luke ද යානාවක් පදවමින් එකතු වේ. එමෙන්ම අපි පෙරදී සාකච්ඡා කළ Wedge Antilles ආදීන්ද මෙයට එකතු වේ. නමුත් බොහෝ පිරිසකට සිදු වන්නේ තම දිවි පිදීමටයි. Darth Vadar විසින් TIE නම් යානා යොදාගනිමින් කැරලිකාර යානා සියල්ලම පාහේ විනාශ කරන්නට විය. නමුත් Han Solo සටනට එකතු වී එම හානිය අවම කිරීමට සමත් විය.

Luke විසින් ඔහුගේ යානාවේ තිබූ ඉලක්ක ලබා ගැනීමේ පරිගණකය ක්‍රියා විරහිත කර, Force නොහොත් බලය ගැන විශ්වාසය තබයි. එසේම, අන්තිමේදී Death Star සමඟ සියළුම සතුරු හමුදා විනාශ වී යන නමුත් Darth Vadar ඔහුගේ යානයෙන් පළා යයි. Darth Vadar හට හැඟෙන්නේ Death Star විනාශ කළ නියමුවාට විශේෂ හැකියාවන් ඇති බවයි. ඔහු විසින් සොයා බැලීමේදී එම නියමුවාගේ අග නාමය Skywalker බවත්, ඒ ඔහුගේ පුත්‍රයා බවත් වටහා ගනී. ඔහු Padme මරා නොදැමූ බවත්, ඔහුට අධිරාජ්‍යයා පවසා තිබුණේ අසත්‍යක් බවත් ඔහුට වැටහේ. ඔහුගේ නව චේතනාව වන්නේ Luke ව ඔහුගේ සහයට ගැනීමටත්, ඔවුන් දෙදෙනා එකතු වී අධිරාජ්‍යයා යටත් කර ගැනීමටත් ය.
 
***

වසර තුනකට පමණ පසු, කැරලිකාර සංවිධානය ඔවුන්ගේ මූලස්ථානය Hoth ලෙසින් හඳුන්වන අයිස් පිරි ග්‍රහ ලොවේ සඟවා සාදා ගනී. මේ වන විටත් Han කැරලිකරුවන් සමඟ සිටින නමුත් ඔහු සූදානම් වන්නේ Jabba හට ගෙවීමට ඇති ණය ගෙවා දැමීමට ආපසු යාමටයි. නමුත් එහිදී අධිරාජ්‍යයා විසින් ඔවුන්ට පහර දෙන අතර, කැරලිකරුවන් ඉතා අසීරුවෙන් දිවි ගලවාගනී. Han, Leia, Chewbacca සහ රොබෝවන් පළා යන අතර අධිරාජ්‍යයා විසින් ඔවුන්ව ලුහුබැඳ යයි. එහිදී Han සහ Leia අතර පෙම් සබඳතාවක් ඇති වේ.

Boba Fett යනු ක්ලෝන හමුදාව සෑදීමට මුල් වූ Jango Fett ගේ පුත්‍රයා බව අප කලින් සාකච්ඡා කළා. Boba Fett මේ වන විට වැඩුණු මිනිසෙක් බවට පත් වී සිටි අතර ඔහු පියා මෙන් සන්නාහයක් පැළඳ සිටී. Darth Vadar විසින් ඔහුව කුලියට ගෙන ඇති අතර ඔහුවද යොදවා Luke ව තමන් සතු කරගැනීමට Darth Vadar උත්සාහ දරයි.

Luke මේ වන විට සිටින්නේ වගුරු ග්‍රහ ලොවක Master Yoda යටතේ පුහුණුව ලබමිනි. Luke ගේ බලයන් ප්‍රභල වුවත් Yoda තරමට ප්‍රභල නොවේ. මෙහිදී ඔහුට මායාවකින් මෙන් පෙනෙන්නේ Han සහ Leia අනතුරක සිටින බවයි. ඔහු විසින් පුහුණුව අතරමඟ නවතා දමන්නේ Obi-Wan ගේ අවතාරය දුන් අනතුරු හැඟවීම් පවා අමතක කරමිනි.

Han Solo ඇතුළු පිරිස ඔවුන්ගේ යානාව සාදා ගැනීම සඳහා Cloud City නම් අභ්‍යවකාශයේ රඳවා ඇති නඟරයකට පැමිණේ. එහි අයිතිකරු වන්නේ Han Solo ගේ පැරණි මිත්‍රයා වූ Lando ය. ද්‍රෝහී වූ ඔහු විසින් Han Solo ව ගල් කොට, ඔහුව Boba Fett හට භාර දේ.

එහිදී Luke පැමිණෙන අතර, Darth Vadar විසින් ඔහුට පහර දී ඔහුගේ අත ද කපා දමයි. Vadar පවසා සිටින්නේ ඔහු Luke ගේ සැබෑ පියා බවයි. නමුත් Luke විසින් එය පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. Lando පසුව ඔහුගේ අදහස් වෙනස් කරගන්නා අතර ඔහු කැරලිකරුවන් හට පැන යාමට උපකාර කරයි. කැරලිකරුවන් පළා යන්නේ කවදා හෝ නැවත සටනට ඒමේ බලාපොරොත්තුවෙනි.

***

Tatooine ග්‍රහ ලොවේ සිටිනා Jabba නම් මැරවරයා ගැන පෙරදී අප සාකච්ඡා කළා. ඔහු විසින් තිප්පොළක් පවත්වාගෙන ගිය අතර එහි සංගීත කණ්ඩායමක්, නළගනුන් සහ මිනිසුන් බුදින රාක්ෂයෙක්ද විය. කැරලිකරුවන් Jabba ගේ තිප්පොළ වෙත හොරෙන් ඇතුළු වන්නේ එහි සිර කොට සිටිනා Han ව බේරා ගැනීමටයි. නමුත් සැලසුම ව්‍යර්ථ වී ඔවුන් සියල්ල කොටු වේ.  අල්ලාගන්නා ලද කැරලිකරුවන් රාක්ෂ මුඛයකට දමා මරා දැමීමට සූදානම් වන අවස්ථාවේ Luke විසින් ඔහුගේ බලයන් පෙන්වන අතර, එහිදී සටන් කර ඔවුන් පළා යන්නේ Boba Fett ව පෙරකී රාක්ෂ මුඛයට හෙළමිනි.

Luke නැවත වගුරු ලොවට යන අතර එහිදී Yoda මිය යනු දකියි. Obi-Wan පවසන්නේ Leia යනු Luke ගේ සහෝදරිය බවත් ඔවුන් එකතු වී Darth Vadar මරා දැමිය යුතු බවත් ය. නමුත් Luke පවසන්නේ ඔහුට ඔහුගේ පියා මැරිය නොහැකි බවයි.

ඒ අතරේදී කැරලිකරුවන් හෙවත් Rebels හට දැනගැනීමට ලැබෙන්නේ අධිරාජ්‍යයා විසින් නව Death Star අවියක් නිපදවමින් සිටින බවයි. එය ආරක්ෂක පළිහකින් ආරක්ෂා කර ඇති නිසා එම පළිහ බිඳ දැමීමට අපගේ වීරයන් කණ්ඩායම Endor නම් ග්‍රහ ලොව වෙත ගමන් කරයි. ඔවුන් විසින් උගුල් අටවන අතර, එහි සිටිනා ටෙඩි බෙයා වැනි Ewok නමින් හඳුන්වන ජීවීන් හා මිතුරු වේ.

Luke විසින් Vadar ව හොඳ අතට හැරවීමට උත්සාහ කරන අතර, එම සැලසුම ව්‍යර්ථ වී Luke ව අධිරාජ්‍යයා වෙත ගෙන යයි. එහිදී දැනගැනීමට ලැබෙන්නේ කැරලිකරුවන් වෙත අධිරාජ්‍යයා උගුලක් අටවා ඇති බවයි.

Lando සහ Admiral Ackbar මෙහිදී පැමිණෙන අතර, ඔවුන් විසින් කැරලිකාර හමුදාවට නායකත්වය ලබා දේ. කැරලිකරුවන් එය උගුලක් බව වටහා ගනී. අභ්‍යවකාශයේ සහ Endor ලොව මත විශාල සටනක් ඇරඹෙන අතර, Ewok වරුන් ද සටනට සහභාගි වේ.

එහිදී Luke සහ Darth Vadar අතර ද සටනක් ඇති වේ. එහිදී Luke අඳුරු බලයට ආකර්ෂණය වුවද ඔහු එහිදී වටහාගන්නේ ඔහුද කවදා හෝ ඔහුගේ පියා වැනි කෙනෙකු විය හැකි බවයි. එබැවින් ඔහු Jedi වරයෙකු ලෙසම සිටීමට තීරණය කරයි. එහිදී අධිරාජ්‍යයා විසින් Luke හට විදුලිසැර වද්දන නමුත් Darth Vadar අධිරාජ්‍යයා ට එරෙහිව අධිරාජ්‍යයා හා සටන් කර Luke ව බේරා ගනී. එහිදී හෙල්මටය ගලවන Darth Vadar ද මිය යන්නේ ඔහුව විශ්වාස කිරීම ගැන Luke ට ස්තුති කරමිනි. Han විසින් Death Star අවිය ආරක්ෂා කරනා පළිහට විදුලිය සැපයෙන ජනකය විනාශ කර දමයි. Lando සහ Wedge විසින් Death Star අවිය විනාශ කර දමන අතර මන්දාකිණිය පුරා ජීවීන් නපුරු අධිරාජ්‍යයා ගේ පරාජය සමරමින් ප්‍රීති වේ.

නමුත්, අධිරාජ්‍යයා විසින් උගුලක් අටවා තිබුණි. එනම්, අධිරාජ්‍යයා හට මන්දාකිණිය අහිමි වුවහොත් එය නැවත කිසිම කෙනෙකුට පාලනය කළ නොහැකි ලෙස, ග්‍රහලෝක විනාශ කර දැමීමේ ක්‍රමයකි. Jakku ග්‍රහ ලොවේදී සිදුවන සටන සමඟින් එම සැලසුමද විනාශ කර දැමීමට Rebels සමත් වේ. අවසනදී මන්දාකිණියේ New Republic ලෙස හැඳින්වෙන රාජ්‍ය බිහි වේ. අධිරාජ්‍යයා සඳහා සේවය කළ යුධවීරයන් මන්දාකිණියේ පිටත මුදුවේ (Outer Rim හිදී) දුෂ්ඨ සැලසුම් සකස් කරමින් සිටින්නේ අධිරාජ්‍ය නැවත ගෙන ඒමේ අරමුණෙනි.

Mandalorian වරයෙකු වන Bounty Hunter වරයෙක් නොහොත් ත්‍යාග මුදල් සඳහා අපරාධකරුවන් ඇල්ලීම ආදී කාර්යන් සිදු කරන අයෙක් Master Yoda ගේ ජීවී විශේෂයේ කුඩා දරුවෙකු රැක ගැනීමට උත්සාහ කරයි. එම දරුවාට ද Force නොහොත් බලය පාලනය කිරීමේ හැකියාව ඇත.

නව සමූහාණ්ඩුව මඟින් ඔවුන්ගේ හමුදාවෙන් 90% ක් පමණ අඩු කරන්නේ කලින් සිටි අධිරාජ්‍යයා මෙන් ඒකාධිපති පාලනයක් ගෙනයාමට ඔවුන්ට අවශ්‍ය නොමැති බව පවසමිනි. Leia දේශපාලනය වෙත යොමු වන අතර, Han ව විවාහ කරගනී. ඔවුන්ට Ben නමැති කුඩා දරුවෙක් සිටී. Luke විසින් Ben දරුවා පුහුණු කරවයි.

***

First Order ලෙසින් හඳුන්වන හමුදා කණ්ඩායමක් ගැන Leia කණස්සල්ලට පත්ව ඇති අතර New Republic හි වෙනත් කිසිම අයෙක් ඒ ගැන සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන් ඇය සමූහාණ්ඩුව අතැර ගොස් රහසිගත හමුදා කණ්ඩායමක් සාදන්නේ First Order කණ්ඩායමට ප්‍රතිරෝධයක් ලෙස ය. මෙය Resistance ලෙස හඳුන්වයි. මෙම කණ්ඩායම Poe Dameron ආදී දක්ෂ නියමුවන් ගෙන් සමන්විත වේ. Poe Dameron යනු Luke Skywalker ට පසුව සිටි දක්ෂතම නියමුවා ය. මෙම කණ්ඩායමේ නායකත්වය තිබුණේ ඔහු යටතේ ය.

First Order කණ්ඩායමට නායකත්වය සපයන්නේ Force නොහොත් බලය භාවිතා කළ හැකි Snoke ලෙසින් හඳුන්වන අයෙකි. Luke විසින් නව Jedi පාසලක් අරඹා ඇත. ඔහුට වැටහී යන්නේ, Snoke විසින් Ben ව අඳුරට පොළඹවන බවයි. එය නිසා ඔහු Ben ව මරා දැමීමට සූදානම් වන නමුත් ඔහු අදහස වෙනස් කර ගනී. කෙසේ නමුත් Ben බලයේ අඳුරට හැරෙන අතර, පාසලේ අනෙක් සිසුවන් මරා දමා ඔහුගේ මිතුරන් කීප දෙනෙක් සමඟ පළා යයි. කළකිරෙන Luke, තනිව වාසය කිරීම සඳහා සියල්ල හැර යයි. Han සහ Leia වෙන් වෙන අතර, Han නැවතත් Chewbacca සමඟ සොරකමට යන ලදි. Ben විසින් ඔහුවම Kylo Ren ලෙසින් හඳුන්වාගන්නා අතර, First Order කණ්ඩායමේ ඉහළ තනතුරක් හොබවයි. ඔහු සමඟ Armitage Hux නමැත්තා ද සිටී.

***

(Endor හි සිදුවූ අවසන් යුද්ධයෙන් වසර 30කට පසු)

Kylo Ren විසින් Luke Skywalker සිටිනා තැන කොහිදැයි සොයයි. ඔහු සිටිනා ස්ථානය දැක්වෙන සිතියමක් Poe Dameron විසින් ගෝලයක් වැනි රොබෝවක් තුළ සඟවයි. එම රොබෝවගේ නම වන්නේ BB-8 ය. First Order කල්ලිය විසින් Poe Dameron ව Jakku ලොවේ දී අල්ලා ගනී. රොබෝ එතැනින් පැනයන අතර එම රොබෝව Rey නමින් හැඳින්වෙන තරුණියට හමු වේ. First Order කණ්ඩායමට හසු වී සිටි Poe එතැනින් පැන යන්නේ Finn නමැති තරුණයෙකුගේ උදව් ඇතිවයි. Finn යනු Stormtrooper කෙනෙකි. Poe සහ Finn වෙන් වන අතර, පසුව Finn ව Rey ට මුණගැසේ. ඔවුන් Millennium Falcon යානයෙන් First Order වෙතින් පළා යයි. ඔවුන්ට Han සහ Chewbacca හමු වේ. ඉන්පසු ඔවුන් මහළු මංකොල්ලකාරියක් වන Maz Kanata හමු වේ. Rey හට Luke Skywalker ගේ පැරණි lightsaber එක හමු වේ. ඇයට විවිධ දර්ශන පෙනීමට පටන්ගනු ලබන්නේ ඇය Force එකට බොහෝ සංවේදී නිසාවෙනි.

මේ අතරේ First Order කණ්ඩායම විසින් නව සුපිරි අවියක් නිපදවයි. එහි නම වන්නේ Star Killer Base යන්නයි. එය යොදාගෙන ඔවුන් New Republic හි අගනුවර විනාශ කර දමයි. First Order විසින් Castle එකට පහර දෙන අතර එහිදී Resistance කණ්ඩායම පැමිණේ. එහිදී Han ඔහුගේ බිරිඳ වන Leia නැවත හමුවේ. Han, Resistance කණ්ඩායම හා එක් වේ.

නමුත් මෙහිදී Rey ව First Order විසින් පැහැරගෙන යනු ලබයි. ඇයව බේරාගැනීමට Finn, Han, Chewbacca ඉදිරිපත් වේ. Rey ඉතා බලවත් කාන්තාවක් බව මෙහිදී සනාථ වේ. කිසිම කෙනෙකුගේ ඉගැන්වීමකින් තොරව ඇය හට Force හෙවත් බලය පාවිච්චි කළ හැකිය.

 Ben විසින් Han ව මරා දමයි. එහිදී Rey සමඟ විශාල සටනක් ඇති වේ. නමුත් එම සටන කෙළවර වන්නේ ජය පැරදුමකින් තොරවයි. Poe විසින් Star Killer Base අවිය විනාශ කරයි. නමුත් Finn දරුණු තුවාල ලබයි. Rey විසින් රොබෝව තුළ සැඟවූ සිතියම භාවිතා කර Luke Skywalker සොයා යයි. ඇය Luke ගෙන් ඉල්ලා සිටින්නේ Resistance කණ්ඩායමට උපකාර කරන ලෙසයි. මේ වන විට Resistance කණ්ඩායම දුර්වල වී සිටී. නමුත් First Order කණ්ඩායම ශක්තිමත් ව සිටී. Resistance කණ්ඩායමේ අණ දෙන යානය විනාශ වන අතර Leia ඇයගේ බලයෙන් දිවි ගලවා ගන්නා නමුත් ඇයව ඉන් කෝමා තත්වයකට පත්වේ.

Finn හට Rose නමැති තාක්ෂණික දේ ගැන හොඳින් දන්නා යුවතියක් මුණගැසේ. ඇය සමඟ මිත්‍ර වන Finn ඇය හා එක්ව First Order කණ්ඩායමේ යානාවක් Hack කිරීමේ සැලසුමක් ගෙන එයි. ඔවුන් මන්දාකිණියේ සිටිනා නරකම මිනිසුන් සිටිනා ලොවක් වෙත යයි. එහිදී ඔවුන්ට හමුවන code breaker වරයෙකු ඔවුන්ට ද්‍රෝහී වේ.

Luke විසින් Rey ව පුහුණු කිරීම ප්‍රතික්ෂේප කරන අතර ඔහු විසින් ඇයට පවසන්නේ සෘණාත්මක කරුණු ය. කෙසේ වෙතත් Rey ගේ බලය කෙමෙන් කෙමෙන් වර්ධනය වේ. Rey සහ Ben ඔවුන්ගේ බලය භාවිතා කර එකිනෙකා මුණගැසේ. Rey සිතන්නේ ඇයට Ben ව හොඳ අතට හැරවිය හැකි බවයි.

Kylo ඔහුගේ ගුරුතුමාට විරුද්ධ වේ. ඇයව First Order වෙත එක් කරගැනීමට කරන උත්සාහයේ දී Rey සහ Ben නොහොත් Kylo එක්ව සටන් කරයි. එහිදී Ben කියනා පරිදි Rey ගේ මාපියන් බලයට කිසිම සබඳතාවක් නැති සාමාන්‍ය අය බවයි.

First Order කල්ලිය විසින් Resistance කණ්ඩායම කොටු කරගන්නා නමුත් Luke Skywalker එහිදී මැදිහත් වේ. එහිදී Luke ව Ben විසින් ඝාතනය කිරීමට තැත් කළත්, සත්‍ය ලෙසම එය සිදු කිරීමට නොහැකි වන්නේ Luke විසින් ඔහුගේ ස්වරූපය Force Projection කිරීමක් මඟින් මවා පෙන්වා සත්‍ය ලෙසම ඔහු එම ස්ථානයේ නොසිටින නිසා ය. වීරයන් කණ්ඩායම Millennium Falcon යානයෙන් පළා යයි. Rey හට පුරාණ Jedi ලියවිලි කීපයක් හමුවේ. ඇය විසින් ඒවා ඇයගේ ඉදිරි පුහුණුව සඳහා තබා ගනී.

මේ වන විට Resistance කණ්ඩායම ඔවුන්ගේ අසමත් වීම් වලින් පාඩමක් ඉගෙනගෙන ඇත. ඔවුන් සූදානම් වන්නේ Resistance කණ්ඩායම ප්‍රතිනිර්මාණය කිරීමටයි. Luke විසින් ඔහුගේ ශරීරය Force වෙත එක් කරයි. (මිය යයි.) Luke Skywalker ගේ පුරාවෘත්තය මන්දාකිණිය පුරා පැතිරී යයි.

Post a Comment

2 Comments

  1. අවුරුදු ගානකට පස්සෙ බ්ලොග් පෝස්ට් එකක් ඉවර වෙනකං කියෙවුව කියපංකො :D

    ReplyDelete