ගෑස්ට්‍රයිටිස් සමඟ ජීවිතය

 

වර්තමානයේ ගෑස්ට්‍රයිටිස් රෝගයෙන් පීඩා විඳින තැනැත්තෝ බොහෝ ය. මා හට ගෑස්ට්‍රයිටිස් ලක්ෂණ පහල වූයේ මා කුඩා කල සිටයි. ගෑස්ට්‍රයිටිස් සෑදෙන්නේ නියමිත වේලාවට හෝ උදේ ආහාර වේල නොකා සිටීමෙන්ම නොවේ. උදාහරණයක් වශයෙන් මා සෑමදාම උදෑසන ආහාර වේල ලෙස බත් සමඟ ව්‍යාංජනයක් ගැනීම කුඩාකල සිට පුරුද්දක් කරගත් දෙයකි. එමෙන්ම වේලාව පසු නොකොට නියමිත වෙලාවට ආහාර ගැනීමේ පුරුද්දක් මා හට විය.

නමුත්, අප පවුලේ තිබූ සෞඛ්‍යයට අහිතකර පුරුදු බොහෝ ය. ඉන් එකක් නම් තෙල් සහ පොල් යන දේවල් වැඩි වශයෙන් ආහාරයට එක් කර ගැනීමයි. අනෙක් කරුණ නම් මිරිස් පරිභෝජනය ඉතා වැඩි මට්ටමක පැවතීමයි. තෙල් හෝ පොල් අඩුව තිබෙන විට ආහාර ගැනීම අප පවුලේ සාමාජිකයන් ප්‍රතික්ෂේප කරයි. මිරිස් ද පදමට මඳක් ඉහළින් නොතිබුණේ නම් එයද ප්‍රතික්ෂේප කරයි. එබැවින් තෙල් පොල් යහමින් දමා මිරිස් ද දමා බත් මාළු උයා ගැනීම සිරිතක් විය.

එමෙන්ම අධිකව තෙල් දමා සාදන සිංහල රස කැවිලි, එනම් කැවුම්, දොදොල් ආදිය අප නිවසේ නිතර සෑදෙන කෑම වර්ග ය. එමෙන්ම රොටි වැනි ආහාර වර්ග ද සතියකට වතාවක් හෝ සාදයි. රොටි වැනි ආහාර ගැනීම සඳහා සැර කොච්චි දමා සාදාගන්නා කට්ට සම්බලයක්ද සෑදීම අප නිවසේ සිරිතයි. අනෙක් කරුණ නම් තේ පානයයි. දවසකට තුන් හෝ සතර වරක් නිවසේ උදවිය තේ පානය කරයි.

වෙලාවට අහාර ගත්තා හෝ නැතා මෙවැනි ආහාර පුරුදු ලංකාවේ සුලභ ය. පුදුමයට කරුණ නම්, මෙවැනි ආහාර අපගේ අත්තා මුත්තා කාලයේ පටන් ගන්නා ආහාර වුවත් එම ආහාර නිසා ඇතිවූ අහිතකර ප්‍රතිඵල මෙතරම් බලපාන ලද්දේ අපේ පරම්පාරවට වීම ය. කොච්චි සම්බෝල සමඟ මඤ්ඤොක්කා, සැරට සාදන ආනම සමඟ කුරහන් තලප, කොච්චි මිරිස් ආදිය සමඟ සාදන සම්බෝලය සමඟ රොටී, මිරිසට පිසින ලද මස් වර්ග, වැනි අද කාලයේ අප ආහාරයට එකතු කර ගතහොත් රෝහලක නැවතීමට සිදු වන ආහාර බොහෝ වශයෙන් ඔවුන් පරිභෝජනය කරන ලදි. නමුත් අප පීඩා විඳින තරමේ ගෑස්ට්‍රයිටිස් අමාරුවක් හෝ අම්ලපිත්ත රෝගයකින් ඔවුන් පීඩා නොවිඳි බව සැබෑ ය. යම් විෂ රසායන‍ ද්‍රව්‍ය හෝ යම් කෘතිම ද්‍රව්‍යයන් හේතුවෙන් මෙවැනි රෝග වර්තමානයේ ඉතා සුලභ වී තිබේ.

මා හට ගෑස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ අධිකව පහළ වූයේ 2013 වසරේ දී පමණ ය. එනම් එවිට මා හට වයස අවුරුදු 20ක් පමණ ය. මුලින් සාමාන්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තත්, තත්වය කෙමෙන් කෙමෙන් පත් වූයේ දරුණු අඩියකටයි. අසනීප තත්වය කෙතරම් දරුණු වී ද යත්, එක් වර ඇතිවන ආමාශයේ වේදනාවත් සමඟ සිහි විසඥ්ඥ වන තැනටම රෝගය උත්සන්න විය. එවැනි අවස්ථාවක කුරුණෑගල මූලික රෝහලේ නේවාසික රෝගියෙක් බවට පත්වීමට මා හට සිදු විය.

ඉන් පසු සිදු කළ පරීක්ෂණ විශාල ප්‍රමාණයක් සහ Endoscopy පරීක්ෂණය නොහොත් ආමාශය තුළට මුඛයෙන් කැමරාවක් ඇතුළු කර සිදු කරන පරීක්ෂණය සිදු කළ පසු තීරණය වූයේ මා හට ආමාශගත තුවාල සහ Hiatal Hernia නම් තත්වයද පවතින බවයි. Hiatal Hernia යනු පහත රූපයේ ආකාරයට ආමාශය සහ අන්නශ්‍රෝතය (Esophagus) හමු වන ස්ථානයේ වන අනවශ්‍ය ආකාරයේ වර්ධනයක් නොහොත් ඉදිමුමක් වැනි දෙයකි.

මෙය ඇතිවීමේ නිශ්චිත හේතුවක් වෛද්‍යවරුන් මා හට නොපැවසූ නමුත්, වඩා වැදගත් වූයේ මෙය සමඟ දිවි ගෙවීම නම් දරුණු කාර්යය කිරීමට හිත හදාගත යුතු වීමයි. සැත්කමක් කිරීම මෙයට විසඳුමක් වුවත් එහි ඇත්තේ අඩු සාර්ථකත්වයක් බැවින් එම සැත්කම නොකරන ලෙස විශේසඥ වෛද්‍යවරයෙක් ගෙන් මාහට උපදෙස් ලැබුණි. ගෑස්ට්‍රයිටිස් සමඟ දිවි ගෙවීම මා හට උරුම කරුමයක් වූයේ ඒ අයුරිනි.

වෛද්‍ය උපදේශය වූයේ තෙල් සහිත, පිටි සහිත, ඇඹුල් සහිත, මිරිස්, ගම්මිරිස් ආදිය සහිත කෑම අත්හරින ලෙසයි. නමුත් එවිට ප්‍රායෝගික ගැටළු රැසක් පැන නඟින බව වැටහෙන්නේ අදාළ ආහාර වලින් වැළකීම ඇරඹූ විටයි. මේ වන විට ගත් ප්‍රතිකාර නිසා සිහි විසඥ්ඥ වන තරමට ඇති වන බලවත් වූ වේදනාවන් අවම වී පැවතුණි. නමුත් විටින් විට උදර වේදනාව බලවත් ව පැණ නැඟුණි. මෙවැනි තත්වය යටතේ ලාංකීයයන් වශයෙන් අප ගන්නා ඊළඟ පියවර වන්නේ ආයුර්වේදයේ සහාය පැතීමයි. ඊළඟට වන්නේ පංසල්, පල්ලි, කෝවිල්, දේවාල ගාණේ යාමයි.

ආයුර්වේද ප්‍රතිකාර ලෙස බදුල්ලේ කන්දේගෙදර නම් ප්‍රදේශයේ වෙද මහත්මයෙකු ගෙන් මා හට කසායක් ලැබුණි. එය මාස තුනකට තරම ප්‍රමාණවත් ලෙස ලබා දුන්නත් මාගෙන් අය කළේ රුපියල් දෙසීයක් වැනි ඉතා කුඩා මුදලකි. එයට වඩා රුපියලක් හෝ ගැනීම ඔහු ප්‍රතික්ෂේප කරන ලදි. කෙසේ නමුත් එම කසායෙන් සෑහෙන ගුණයක් ලද බව කිව යුතු ය. අවාසනාවකට මෙන් එම වෙද මහත්මයා දැන් ප්‍රතිකාර කිරීම නවතා ඇත්තේ වෙද මහත්මයා ද යම් රෝගයක් නිසා එක්තැන් වීම නිසා ය.

මාගේ මව් පියන්ගේ බල කිරීම් මත කෙරෙන ලද දෙවියන්ගෙන් සෙත් පතා කළ පුද පූජා සත්කාර අවසනදී මම යමක් තේරුම් ගත්තෙමි. එනම් දෙවියන් විසින් ගෑස්ට්‍රයිටිස් සඳහා නිතර, මතුරන ලද තැඹිලි බීමට නියම කරන බවයි. එයින් මා බැසගත් නිගමනය වූයේ මැතිරුවා හෝ නැතා, තැඹිලි යනු බඩ සිසිල් කරනා ඉතාමත් ඉහළ ප්‍රතිලාභ සහිත ලොව උසස්ම ගණයේ පානයක් බවයි. තැඹිලි ගෙඩියෙන් දෙවි පිහිට ඉවත් කළ මා පුරුද්දක් වශයෙන් නිතර තැඹිලි ගෙඩියක් බීම ආරම්භ කළේය. එයින් මා ලද සහනය මෙතෙකැයි කියා නිම කිරීම පවා අපහසු ය. යම් ගෑස්ට්‍රයිටිස් වලින් පීඩා විඳින අයෙක් වේ නම්, මා මේ දැන් පැවසූයේ ඉතා වටිනා ඉඟියකි.

ගෑස්ට්‍රයිටිස් යනු බොහෝ අයට කුඩා බඩ පපුව දැවිල්ලක් වුවත් මට එය එසේ නොවේ. මන්ද යත්, ආමාශගත තුවාල සහ Hiatal Hernia තත්වය ඇති ප්‍රදේශයේ වන ආසාදනය වීම් නිසා දරාගත නොහැකි මට්ටමේ බලවත් උදර වේදනාවක් මා හට ඇති වේ. එවිට සිටගෙන හෝ ඉඳගෙන සිටීම නොව, ඇඳක හාන්සි වී හෝ සිටීම ඉතා අසීරු කරුණකි. කිසි දිනෙක මා හට කුස පුරා කෑම තහනම් ය. එවිට ආමාශය පිරී ඉහළට එන ආහාර Hiatal Hernia තත්වය සහිත ස්ථානය කරා ඇදී විත් එතැන ආසාදනය වී පෙර පැවසූ මර වේදනාව මතු වන නිසා ය. එමෙන්ම සාමාන්‍ය ගෑස්ට්‍රයිටිස් රෝගීන්ට අහිතකර ආහාර මට නුසුදුසු ය.

එක් කාලයක දී මා විසින් සුදුළූණු රාත්‍රියේ දියේ දමා උදෑසන පානය කිරීම ඇරඹියෙමි. එයින් සෙතක් නොවීය. දියබත් සාදා ආහාරයට ගත්තා වුවත් එයින් වත් සහනයක් අවම විය. නමුත් තැඹිලි වතුර මා හට දිව්‍යමය ඔසුවක් විය. එමෙන්ම කස කසා ඇට නොහොත් බැසිල් ලෙස හැඳින්වෙන ශාකයේ ඇට දියට දමා, පැයක් දෙකක් තබා පානය කිරීම ද හොඳ ඔසුවක් ලෙස හැඳින්විය හැක. කෝමාරිකා මද කුඩා ජලය ප්‍රමාණයක් සමඟ මිශ්‍ර කර පානය කිරීම ඉතා අප්‍රිය සහගත දෙයකි. නමුත් මම එයින්ද සහනය ලබාගත හැකි බව අත්විඳ ඇත. ඊනෝ ලෙස හඳුන්වන ගෑස්ට්‍රයිටිස් සඳහා යැයි කියනා පානය කිසි දිනෙක මා හට සහනය සලසා නැත. කැකිරි, පිපිඤ්ඤා, වැටකොළු, පතෝල වැනි එළවළු වර්ග ඉතා ගුණදායක බව අත්දැකීමෙන්ම මා හට වැටහී ඇත. යෝගට් සහ එළකිරි වැනි කිරි ආහාර වලින් මා සහනයක් ලද්දේ කලාතුරකිනි. එයින් සිතනා තරමේ සහනයක් නැත.

ගෑස්ට්‍රයිටිස් සහ ආමාශගත තුවාල සඳහා ඔබ වැළකිය යුතු ආහාර මෙසේ ය. මාළු මිරිස් යනු මෙම රෝගයේ ප්‍රධාන හතුරෙකි. කෙසේ පිළියෙල කර ආහාරයට එක් කළත් එයින් බොහෝ අපහසුතා ගෙන දේ. ටින් මාළු යනු ඊළඟ සතුරා ය. ටින් මාළු, තක්කාලි කැබලි කීපයක් එක් කර උයාගත් විට එය මා හට වස බඳුනක් හා සමාන වේ. ෂෝට් ඊට්ස් වර්ග, කොත්තු, රයිස්, චිලිපේස්ට් ආදිය ඉතා අහිතකර වේ. දෙල්, කොස්, කොස් ඇට ආදිය කෑමෙන් දින දෙක තුනක් විඳවිය හැකි බව මා අත්දැක ඇත. වම්බටු, ගෝවා, රාබු ආදියද මා හට අගුණ ආහාර වේ. කට්ට සම්බල යනු ඉතාම අගුණ ආහාරයකි. මඤ්ඤොක්කා, බතල, හෝ කිරිබත් වුවත් කට්ට සම්බල සමඟ ගත් විට බොහෝ දින වල මා හට උදර වේදනාව හිමි විය. තෙල් සහ මිරිස් පදමට දමා සාදන ලද බැදුම් වර්ග ද අගුණ ය. එමෙන්ම දෙහි සහ ලුණුදෙහි යනු ද තහනම් ආහාර වර්ගයකි. සිංහල රස කැවිලි යටතට වැටෙන හැඳි කැවුම්, අතිරස, දොදොල් ආදිය ද මඳක් අහිතකර ආහාර වේ.

මේවා කෙසේ අගුණ යැයි කීවත් කලාතුරකින් හෝ රස බැලීම මා විසින් සිදු කරන්නේ මාරයා සමඟ කරනා ගණුදෙනුවක් ලෙස ය. අගුණ යැයි හඳුනා ගන්නා ලද ආහාර ගැනීමෙන් පසු තැඹිලි ගෙඩියක් බීම මඟින් යම් සහනයක් සලසා ගත හැක.

එමෙන්ම නිතර භාවිතා කිරීම නිර්දේශ නොකරන නමුත් අධික වේදනාවෙන් නිදහස් වීම සඳහා Esomeprazole සහ Famotidine වැනි ඖෂධ මම නිතර ළඟ තබා ගනී. Esomeprazole යනු ආමාශයේ අම්ල මට්ටම පහත හෙළන වර්ගයේ ඖෂධයකි. මෙයින් ආමාශයේ සහ අන්නශ්‍රෝතයේ තුවාල තත්වය සුව කිරීමට උපකාර කරයි. නමුත් දීර්ඝකාලීනව ගැනීම වකුගඩු රෝග ඇති කිරීමට සමත් වේ. මෙයින් මා අගය කරන නිශ්පාදනය වන්නේ රාජ්‍ය ඖෂධ සංස්ථාව මඟින් නිකුත් කරනා Pton 20 නම් ඔසුවයි. අනෙක් වෙළඳ නාම වලට වඩා මෙම ඔසුව මා විසින් විශ්වාසයෙන් භාවිතා කරයි. මිළද සාපේක්ෂව අඩු ය. Famotidine යනු ආමාශයේ පිරී ඇති ආහාර ඉක්මනින් ජීරණය කිරීමට උපකාරී වන ඔසුවකි. ගෑස්ට්‍රයිටිස් සඳහා අහිතකර වර්ගයේ ආහාර වලින් ආමාශය පිරී ඇති විට ආමාශයේ තුවාල වර්ධනය විය හැකි බැවින් මෙම ඔසුව ඉතා වටිනා ඔසුවකි.

මෙම ලියමන ලිවීමේ හේතුව වන්නේ වසර හයක්, හතක් පුරාවට ගෑස්ට්‍රයිටිස් සමඟ ජීවත් වී එකතු වූ අත්දැකීම් ලියා තැබීමයි. මෙහි අදාළ සියළු කරුණු කාරණා ඇතුළත් නොවූවත් සිහිපත් වූ සියල්ලම මෙහි ඇත. ඉදිරියේ සිහිපත් වන සහ මුහුණදෙන අත්දැකීම් අනුසාරයෙන් මෙය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමි. ගෑස්ට්‍රයිටිස් නිසා පීඩා විඳින යම් අයෙක් හට මෙම ලිපියෙන් යම් ප්‍රයෝජනයක් වේ නම්, එය මාගේ එකම බලාපොරොත්තුවයි. කියැවූ ඔබට තුති. 

Post a Comment

1 Comments

  1. සුද්දෝ විදිහට කන්න පුුරුදු වුනානම් හරි..එයාල තුනපහ ආදිය දාන් නැතුව නිකම්ම තැම්බුවා බේක් කලා කෑවා වගේ දෙයක් නේ වැඩිපුර කරන්නේ. දැන් කොහොමත් ලුනු සුට්ටක් ගම්බිරිස් ටිකක් දාලා ආහාරයේ තියෙන ස්වාභාවික රසට අනුව කන එක තමයි මම හිතන්නේ ඊලග ට්‍රෙන්ඩ් එක. ඒත් අපේ රටෙන් එහෙම කෑම කන එක තමයි පස්නේ. අපිම හදාගන්න වෙනවා.

    ReplyDelete