අගලෙකුඹුර - Agalekumbura



මේ 2020 වසරයි. චීනයෙන් ඇරඹී ලොව පුරා covid-19 නමැති දරුණු වෛරසය පැතිර ගොස් ලංකාවටද එය සේන්දු විය. ඒ සමඟම රාජ්‍ය හා පෞද්ගලික ආයතන, පාසල් හා විශ්වවිද්‍යාල ආදී සියල්ල වසා දමා රට අගුළු දැමීමට රජයට සිදු විය.

වසර පහක ප්‍රමාදයක් සහිතව සරසවියට ඇතුළත් වූ මා, මේ අවධියේ සිටියේ පළමු වසර, දෙවන සමාසිකයේ විභාගයට මුහුණ දීමේ බලාපොරොත්තුවෙනි. රුහුණ සරසවියේ තාක්ෂණ පීඨය ද මාර්තු මස 14 වැනිදා වසා දැමුණි. රට පුරා විශ්වවිද්‍යාල වසා දැමෙන අතර මා ද නිවසට කොටු විය. මෙම අවධිය නිවාඩුවක් ලෙස අර්ථදැක්විය නොහැකි නමුත් බොහෝ දෙනා එය සඳහන් කළේ නිවාඩුවක් වශයෙනි. එබැවින් මම ද එයට "නිවාඩුව" යන වචනය භාවිතා කරමි. අදාළ නිවාඩුව ලැබී මෙම ලියමන ලියන දිනය වන ජූලි 14 වැනි දිනට මාස හතරකි. මුල් කාලයේ online ක්‍රමයට පැවති දේශණ ද අවසන් වී ඇති නිසා මේ කාලය වන විට මෙම සමාසිකයේ ඉගෙනීමට දෙයක් ඉතිරි ව තිබුණේ නැත. පසුගිය පාඩම් නැවත අධ්‍යනය කිරීම පමණක් ඉතිරිව පැවතුණි.

මෙම නිවාඩුවේ මුල් කාලය, මා දයාබර බිරිඳගේ මාපිය, නෑදෑ ඇසුරේ, බදුලු පුරවරයේ ගෙවා දැමුවෙමි. තවත් කාලයක් මාගේ මාපියන් ගේ නිවසට ගොස් එහි ගත කළෙමි. අවසන, බලංගොඩ ප්‍රදේශයේ අගලෙකුඹුර ගම්මානයට අප දෙදෙනා සේන්දු විය. මෙහි පැමිණීමට නම්, බලංගොඩ බස් නැවතුමෙන් ඉඹුලාමුර දක්වා දිවෙන බස් රථයක් අල්ලාගත යුතුය. ඉන් පසු, බසයේ ගමනාන්තය වන ඉඹුලාමුර දී බසයෙන් බැස, තවත් කිලෝමීටර එකහමාරක් පමණ පයින් යා යුතුය.

මෙහි ජීවත් වූයේ බිරිඳගේ පියාණන්ගේ වයෝවෘද්ධ මාපිය යුවල සහ ඔවුන්ගේ තනිකඩ වැඩිමහල් පුත්‍රයා යි. පැරණි තාලයේ නිවසත්, පිටිසර පරිසරයත්, සෞම්‍ය කාලගුණයත්, විටින් විට හමනා සුළං කෝඩයත් නිසා මාගේ සිත අන් කවර තැනකටත් වඩා මෙම ප්‍රදේශය වෙත බැඳුණි. මා හට මෙහි තිබූ එකම පරහ වූයේ දුරකථන සංඥා වල හිඟයයි. එයට ද අමාරුවෙන් පිළියම් කරගත් පසු එයද ඒ තරම් ගැටළුවක් නොවුණි. නිවසේ ඉදිරිපස ඉස්තෝප්පුවට ඇරෙන දොරක් සහිත කාමරය අප හට වෙන් වුණි. එහි ජනෙල් පියන්පත් හරින සෑම විටකම නිල්වන් පැහැයෙන් බබලන වෙල් යාය පිසගෙන එන සිහිල් සුළඟින් කාමරය පිරී යන ලදි.

මා ඉහතින් සඳහන් කළ "ආතා" සහ "ආච්චී" ඔවුන්ගේ දිවියේ සැඳෑ සමය ගෙවමින් සිටියත්, තවමත් කුඹුරු දෙකක් අස්වද්දා, එළවළු කොටුවක් සහ ගම්මිරිස් වගාවක් පවත්වාගැනීමට තරම් ධෛර්යය සම්පන්න වූවෝ විය. ඔවුන් තවමත් කාටහෝ බරක් නොවී එදා වේල පිරිමසා ගත් හ.

මහප්පා

මා මුලින් සඳහන් කළ "ආතා" සහ "ආච්චී" ගේ වැඩිමහල් පුත්‍රයා නොහොත් "මහප්පා" ඔහුගේ තරුණ අවධියේ මුහුණ දුන් බලවත් මානසික කම්පනයක් නිසා සිහි මඳ භාවයෙන් පෙළෙයි. ඒ කථාව මෙසේ ය.

1967 වසරේ උපන් ඔහු, අවුරුදු විසි ගණන් වල තරුණ වියේ ඔහුගේ වයසේ කිසිවෙක්ට දෙවැනි නොවූ, ධෛර්යමත් ගැටයෙක් විය. පාසල් අධ්‍යාපනය ගැන එතරම් උනන්දුවක් නොදැක්වූ ඔහු උනන්දු වූයේ තම මාපියන් මෙන් වගා කටයුතු වල යෙදීමටත් සබරගමු පළාතේ සුලභ වූ මැණික් සෙවීමටත් ය. එකල ඔහු වැඩට සහභාගී වූ එක් මැණික් පතලක් විය. දිනක් ඔහු ගෙදර උදවියට ද සමු දී පතළ කරා ගියේ තම වාසනාව උරගා බලා මැණික් සෙවීමටයි. නමුත්, කිහිප දිනකින් ඔහු නැවත නිවස කරා පැමිණියේ පියවි සිහියකින් නොවන බව ඔහු දෙස බැලූ බැල්මටම සිතාගත හැකි විය. ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු ඔහු නිවසේ බඩු මුට්ටු පවා කඩා බිඳ දමන තත්වයකට පත් වී තිබුණි. සියල්ලන්ටම මෙය විසඳිය නොහැකි වූ ප්‍රහේලිකාවක් විය. විවිධ අවස්ථා වල රෝහල් වෙත ගෙන යාමෙන් සහ විවිධ වෛද්‍යවරුන් දුන් ප්‍රතිකාර නිසා ඔහුගේ ප්‍රචණ්ඩ හැසිරීම් අවම කර, තමාගේ දෛනික කටයුතු කරගැනීමේ තත්වයට ඔහුගේ මානසික මට්ටම නඟා සිටුවන ලදි.

දැන්, ඔහු ඉස්තෝප්පුවේ නිදාගනී. උදෑසන අවදි වී පොරෝණය දෙවුරෙන් පොරවාගෙන සිටී. වැසිකිළි කැසිකිළි කටයුතු තනිව කරගනී. දර පැළීම, පොල් ලෙලි ගැසීම, පොල් ගස් වල නැඟ පොල් කඩා දීම ආදිය ද ඉල්ලීමක් කළ විට ඉටු කර දේ. තනිවම ගොස් එළවළු කොටුවේ බිම සකස් කරයි. කුඹුරු වැඩ ද සිදු කරයි. සිතක් සිතුණු විට පොල් ගස් වල නැඟ රා මැදීමට උත්සාහ කරයි. නමුත් ඔහුගේ උත්සාහය සාර්ථක වූ දිනක් මා නම් දැක නැති බව කිව යුතු ය. තනිව බත් මාළු බෙදාගෙන කයි. ඔහු ආහාර ගන්නේ නිවසේ සියල්ලෝම ආහාර ගත් පසුව ය. වළඳක කිසිම බතක් මාළුවක් ඉතිරි වී තිබෙනු දැකීමට ඔහු අකමැති ය. ඔහුට ඇති තරම් අනුභව කිරීමෙන් පසුව, ඉතිරියක් වේ නම් එය වත්තේ සැරි සරනා බල්ලන් ට දෙයි. තනිව සිනාසෙයි. හදිසි ගමනක් යනවා මෙන් ඇවිද ගොස් යමක් මතක් වූවා සේ ක්ෂණයෙන් ආපසු හැරී එයි. ඔහුට ඉඩ කඩ බොහෝ අවශ්‍ය ය. දොරකින් එළියට හෝ ඇතුළට යාමට නම් දොර අසල කිසිවෙක් නොසිටිය යුතුය. දෙතුන් දෙනෙකුට එහා මෙහා යා හැකි කොරිඩෝවක් වුණත් තත්වයේ වෙනසක් නැත. සුළු සුළු දෑ වලින් ඔහු පීඩනයට පත් වේ. උදාහරණයක් ලෙස, ඉස්තෝප්පුවේ බැම්ම මත පොතක් තබා ඇති විටෙක ඔහු ඉස්තෝප්පුවේ නිදාගන්නේ නැත. එම පොත ඉවත් කරන ලෙස ඔහු ඉල්ලා සිටී.

ඔහු දිනපතාම පයින් යන දුරක ඇති "බිබිල" නම් දිය බුබුළ වෙත ගොස් දිය නා පැමිණෙයි. ආච්චී නොහොත් මහප්පාගේ මව කුමකට හෝ බලංගොඩ ගොස් පැමිණි විට පොඩි එකෙකු මෙන් "මට මොනාද ගෙනාවේ?" යැයි අසයි. විටෙක පොල් ගස් වල නැඟ, පොල් කඩා ඒවා ලෙලි ගසා විකුණා මුදල් ලබා ගනී. එම මුදලින් සීනි, තේ කොළ, කරවල, බුලත් විට ආදී දෑ මිළදී ගෙන නිවසට රැගෙන එයි. විටෙක මට ද කුරුම්බා තැඹිලි කඩා දෙයි. සෑම දේම කිරීමට ඔහුට සිතක් පහළ විය යුතුය. ඔහු නියෝග පිළිපදින්නේ කලාතුරකිනි. කා සමඟ හෝ වැඩි කතාවක් නැත. ඔහු අකමැති දෙයක් කරන ලෙස නියෝග කළ විට කෝපයෙන් කෑ ගසයි. මාගේ බිරිඳට පුතා ලෙස අමතන ඔහු මා හට අමතන්නේ මහත්තයා කියා ය. ඒ ඇයි දැයි මට වටහාගත නොහැක.

ඔහු රාත්‍රිය උදා වූ පසු නිවසම අතුගායි. කුස්සියේ ඇති උපකරණ ඔහුගේ පිළිවෙළකට තබයි. කෙතරම් කුස්සිය ආච්චිට අවශ්‍ය ආකාරයට අස් පස් කළත් දිනපතා රාත්‍රියේ මහප්පා ඔහුට අවශ්‍ය ලෙස එහි පිළිවෙළ වෙනස් කරයි. ඒවාට ආච්චිගෙන් බැණුම් ද අසයි. ඉදිරිපස දොර අගුළු ලෑම ඔහුට බලවත් අපහසුතාවයකි. එය අගුළු නොදමන ලෙස ඔහු ඉල්ලා සිටී. ඔහු නිදන්නේ ඉස්තෝප්පුවේ ය. ඔහු ළඟ රෙදි කැබලි පිරවූ පොහොර උරයක් ඇත. ඔහු එය නිදාගන්නා විට තුරුළේ තබා ගනී.

පියවි සිහියෙන්, මුදල් සොයන අදිටනින් නිවසින් පිටවූ තරුණයෙක් හට සිහි විකල් වීමට තරම් වූ මානසික කම්පනය කුමක් ද යන්න අදටත් නොවිසඳුණු අබිරහසකි.

බිබිල

බිබිල ලෙස හැඳින්වූ විට අප බොහෝ දෙනාට සිහි වන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ, එකල දොඩම් සඳහා ප්‍රසිද්ධ වූ බිබිල නම් නඟරයයි. නමුත්, අගලෙකුඹුර ගම්වාසීන් "බිබිල" ලෙස හඳුන්වන්නේ දිය බුබුළකි. බිබිල නඟරයට ද බිබිල ලෙස නම වැටීමේ හේතුව දිය බුබුළක් බව මා කොහේදී හෝ අසා ඇත. අගලෙකුඹුර ගම්මානයේ ඇති බිබිල ගැන කීමට ද කථාන්තරයක් ඇත.

වර්තමානයේ මෙම බිබිලෙන් එන දිය පහර කොන්ක්‍රීට් කාණුවක් දිගේ ගලා ඒමට සලස්වා කුඹුරු යායක් වගා කෙරේ. මෙම කුඹුරු යාය කන්නයක් ගොයම නොහොත් වී ගොවිතැන සඳහා ද, අනෙක් කන්නය එළවළු භෝග සඳහා ද වෙන් කෙරේ. දිය බුබුළ මතු වන ස්ථානයේ ගම් වාසීන් දිය නෑමට සකසා ගෙන ඇත. මෙම දිය බුබුලේ ඇත්තේ කිවුල සහිත ජලයකි. දිය බුබුළ මතු වන ස්ථානයේ දණ්ඩි පැටවුන් සහිත කුඩා වළක් ඇත. ගම්මුන් ඔතැනට බැස, පනිට්ටු වලින් දිය ගෙන නාගනිති.

මෙහි අතීත කතාව මෙබඳු ය. අවුරුදු දෙතුන් සීයකට පෙර මෙම දිය බුබුළෙන් දැනට වඩා වැඩි විශාල දිය දහරාවක් පැමිණියේ ලු. නමුත්, එක් කාලයකදී මෙම දිය බුබුළෙන් විශාල ගොළුබෙල්ලන් විශේෂයක් පැමිණ රාත්‍රියේ දී කුඹුරු යායේ ගොයම් පැළ කෑමට පටන්ගත්තේ ලු. මෙම පාඩුව උසුළාගත නොහැකි තැන ගම්මුන් කතා වී, දිය බුබුළ මතට විශාල ගල් දමා අලි ඇතුන් ලවා පෑගුවේ ලු. ඉන්පසු දිය දහර ප්‍රමාණයෙන් කුඩා වූ අතර ගොළුබෙල්ලන් ගේ උවදුරු පහව ගියේ ලු. මෑතක දී මෝටර් කීපයක් දමා දිය ඉස එම ඇතුන් ලවා පෑගවූ ගල් ගලවා දිය පහර පුළුල් කිරීමට උත්සාහ කළත් එක ව්‍යර්ථ වූ බවයි ගම්මුන් පවසන්නේ.

1992 වසරේ විවෘත කරන ලද සමනළවැව ජල විදුලි ව්‍යාපෘතියේ වැඩ කරන සමයේ මෙම අගලෙකුඹුර ප්‍රදේශයේ ළිං වල දිය සිඳී ගියේ ලු. බිබිල නමින් හඳුන්වන ඒ දිය බුබුළත් සිඳී ගියේලු. ව්‍යාපෘතිය නිමවා ටික කලකට පසු නැවතත් දිය උල්පත් සක්‍රීය වුවත් සමහර දිය උල්පත් එසේ සක්‍රීය නොවීම නිසා සමහර ළිං අතැර දැමීමට සිදු වී ලු. නමුත් බිබිලේ ජලය නැවතත් පෙරට වඩා අඩුවෙන් වුවත් ගැලීම ඇරඹියේ ලු.

හුළං පෙති

අගලෙකුඹුර හා ඒ ආශ්‍රිත ප්‍රදේශය නිතර හමා යන සැඩ සුළඟින් අඩු නැති ප්‍රදේශයකි. මෙම සුළඟින් කැරකැවීම සඳහා ගම්මුන් බඹර සාදති. නමුත් මෙම ගැමියන් "බඹර" යන පදය නොදන්නා අතර, ඔවුන් මෙම සුළඟේ කරකැවෙනා දෙයට පවසන්නේ "හුළං පෙති" කියා ය. ඈත අතීතයේ සිට පරම්පරා ගණනක්, වෙසක් සමයට අප වෙසක් කූඩු සාදන්නාක් මෙන් ඔවුන් හුළං පෙති සාදා ගස් මුදුන් වල රඳවති. මෙම හුළං පෙති දිවා රෑ තිස්සේ හමා යන සැඩ සුළඟ කරණ කොටගෙන වේගයෙන් කරකැවෙමින් සිවුරුහම් (විසිල්) හඬක් ද නිකුත් කරයි. ‍රාත්‍රී කාලයේ මේවායෙන් ඇසෙනා නාදය, මෙම හුළං පෙති ගැන හාංකවිසියක් නොදත් ඔබව බියපත් කරනු ඇත. මෙම හුළං පෙත්තක සේයාරුවක් ලබා ගැනීමට මම කීප විටක්ම උත්සාහ කළ ද එම උත්සාහයන් ව්‍යර්ථ වූයේ එම හුළං පෙති මාගේ කැමරා කාචයට හසු නොවන තරම් උස ගස් මුදුන් වල සවි කර තිබූ බැවිනි.

අගලෙකුඹුර පංසල

ඔබට අගලෙකුඹුර බෞද්ධ පංසල දැකගැනීමට අවශ්‍ය නම් Google Maps සේවයේ සෙවුමක් යොදන්න. මා එහි ඡායාරූප කීපයක් එක් කළෙමි. නමුත් Google Maps හි එහි පිහිටීම නම් සම්පූර්ණයෙන් වරදවා ඇත. කවුරුන් හෝ එය වැරදි තැනක සලකුණු කර ඇත. කෙතරම් එය නිවැරැදි කිරීමට උත්සාහ දැරුවත් ඒ සෑම උත්සාහයක්ම ව්‍යර්ථ වී යන ලදි.

අගලෙකුඹුර පංසලේ වැඩ වසනා හිමි නම හමු වීමට මම ඉතා කැමැත්තෙන් සිටියත් එය ඉටු කර ගැනීමට නොහැකි වුණි. එම ස්වාමීන් වහන්සේ පංසල් වත්ත පාළුවට යා නොදී වෙහෙස මහන්සි වී වගා කරන්නෝ ය. ගම්මිරිස්, කෙසෙල් ආදී නොයෙක් වගාවන් ක්‍රමානුකූලව වගා කර එම මිළෙන් පංසල දියුණු පමුණුවා එහි තනිව වැඩ වාසය කරන්නෝය. මෙහි සෑම දිනකම සවස 6ට ලවුඩ්ස්පීකරයක් ආධාරයෙන් සෙත් පිරිත් දේශනාවක් විකාශය කෙරේ.

ගම හා සසඳන විට තරමක විශාල පංසලකි. කොරෝනා වසංගත බිය නිසා මිනිස් වාසය අඩු වීම නිසා බෝධිය අසල විශාල තුඹසක් ද බැඳ තිබුණි. බෝ මළුව ද මඳක් අපවිත්‍ර වී තිබුණි. මල්, පහන්, සුවඳ දුම් පුදා පංසලට ඉක්මනින් සමු දීමට සිදු විණි.

පසුවදන

අගලෙකුඹුර ගම්මානයට හදිසියේ සමුදීමට සිදුවීම එක්තරා දෛවෝපගත සංසිද්ධියකි. මේ ලියමන ලියැවෙන සීතල රැයේ පවා විටින් විට මා සිත පියඹා ගොස් අගලෙකුඹුර ගම්මානයේ වෙල් යායවල්, සුළං පෙති ගැටගැසූ තුරු මුදුන්, බිබිලේ සීතල ජලයේ පිහිනන දණ්ඩි පැටවුන් ආදියෙහි දැවටෙයි. පිටිසර සෑදී වැඩුණු මා, තවත් එක් පිටිසර ගම්මානයක් වෙත තදින් බැඳුනා නම්, ඒ අගලෙකුඹුර ගම්මානයයි.

***

අගලෙකුඹුර ග්‍රාමයේ ගෙවූ සති කීපය ගැන ලියා තැබිය යුතුම යැයි මා සිත නිරන්තරයෙන් වද දුන් බැවින් මෙම ලියමන මෙලෙස ලිවීමි. පරිගණක තිරයෙන් ඇස් වෙහෙසුණු කල්හි විවේකයක් ගැනීමට ඉතාමත් සුදුසු වුවත්, ජීවත්වීම අතින් දුෂ්කර අගලෙකුඹුර ග්‍රාමය ගැන සටහන මෙසේ නිමා කරමි. කියැවූ ඔබට තුති!

Post a Comment

0 Comments