Firefox වලට දාගන්න පුළුවන් හොඳම Extensions/Add-ons 10ක්.



ඔන්න අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ මම Firefox බ්‍රව්සර් එකත් එක්ක පාවිච්චි කරන පට්ටම Extensions / Add-Ons ටික. Chrome බ්‍රවුසර් එක කොච්චර කට්ටිය පාවිච්චි කළත් මම තවමත් Firefox fan කෙනෙක් බව ඔයාලා මගේ කලින් පෝස්ට් කියෙව්වා නම් දැනගෙන ඇති.

ඉතින් මේ ටික මම අරන් ආවේ මං වගේම Firefox පාවිච්චි කරන්න ආස අය වෙනුවෙන්. හැබැයි මේ Extensions/ Add-Ons වල Chrome Version එකත් ඔයාලට Chrome Store එකෙන් හොයාගන්න බැරි වෙන එකක් නෑ.

එහෙනම් ඔන්න කතාව නවත්තලා අපි බලමු මොනාද අද අරගෙන ආවේ කියලා.

1) DuckDuckGo Privacy Essentials

මුලින්ම තියෙන්නෙ ගොඩක් අය අහලා නැති නමක්. DuckDuckGo කියන්නෙ මොකක්ද? කෙටි පිළිතුර, සහ වඩා ලේසි පිළිතුර තමා ඒක Google වගේ Search Engine එකක්. එතකොට මොකක්ද ඒකේ විශේෂත්වේ? ඔයාලා ටිකක් තමන්ගේ පෞද්ගලික දත්ත ගැන සැලකිලිමත් නම්, ඔයාලා මේ වෙනකොටත් දන්නවා ඇති Google සමාගමෙන් අපේ පෞද්ගලික දත්ත විශාල ප්‍රමානයක් ලබාගෙන ඒවා විවිධ කාර්යයන්ට පාවිච්චි කරන බව. මේ ගොඩක් කාරණා ඔයාගෙම ලේසියට පහසුවට කරන දේවල් තමයි. ඒත්, ඔයා අකමැති නම් තමන්ගේ අනන්‍යතාව ගැන වෙන කෙනෙක් දැනගන්නවට, ඔයාට ගැලපෙන හොඳම Search Engine එක තමයි DuckDuckGo කියලා කියන්නෙ. මේකෙදි අඩුම ගානෙ ඔයාගෙ Search History එකවත් එයාලගෙ Servers වල රඳවලා තියාගන්නේ නැහැ. මෙන්න සයිට් එක, ගිහින් පොඩි ට්‍රයි එකක් දාලා බලන්න. හොර වැඩ වලට නම් කියාපු භාන්ඩේ :P https://duckduckgo.com.

මේ මම උඩින් කියපු Firefox Extension එක හදලා තියෙන්නෙ අර මම මුලින් කිව්ව DuckDuckGo සමාගමෙන්. මේ Extension එක භාවිතයෙන් ඔයාට පුළුවන් ඔයා පිවිසෙන හැම අඩවියකින්ම ඔයාගෙන් ඔයාටත් රහසේ ලබාගන්න දත්ත මොනාද කියලා බලාගන්න, ඒ වගේම එහෙම ලබාගන්න දත්ත පාලනය කරන්න. මේක, තමන්ගේ Privacy එක වගේම ආරක්සාව ගැන හිතන ඕනම කෙනෙක්ට ඉතාමත් වටින Extension එකක් වේවි.
Download DuckDuckGo Privacy Essentials

2) Facebook Container


මේ Add-on එක Firefox හදන Mozilla අයගෙම වැඩක්. මේක කරළියට ආවෙ පහුගිය ටිකේ users ලගේ පෞද්ගලික දත්ත මංකොල්ල කෑවා කියලා අපේ මාක් සකර්බර්ග් අයියට බරපතල ලෙස චෝදනා එල්ල වීමෙන් පස්සේ.  

ඒ කතාව නැතිව අපි සරලව කල්පනා කලොත් ඇත්තටම Facebook එකෙන් අපේ දත්ත අති විශාල වශයෙන් එකතු කරනවා. ඔයාලට දැන් නම් පුළුවන් ඒ දත්ත වලින් කොටසක් හරි මොනාද කියලා බලාගන්න. ඒක වෙනම පෝස්ට් එකකින් කතා කරන්න ඕන දෙයක් නිසා ඒ කතාව මෙතනින් නවත්තමු. 

මෙන්න මේ Add-On එකෙන් වෙන්නේ ඔයා Firefox බ්‍රව්සර් එකෙන් Facebook ලොග් වුණාම Facebook අඩවිය Container එකක දාන එක. ඒ කිව්වේ හරියට සයිට් එක පෙට්ටියක් අස්සට දානවා වගේ. එතකොට ඒකට බැහැ අපි Facebook අඩවිය වෙන tab එකක ඕපන් කරගෙන අපි අනෙක් tab වලින් යන්නෙ මොන මොන සයිට් වලටද කියලා ඔත්තු බලන්න. ඒ කිව්වේ ඉතින් මීට කලින් ඔයා Facebook එක පැත්තකින් වෙන ටැබ් එකක ඕපන් කරන් ඔයා ගිය හැම සයිට් එකක්ම දිහා කවුරු හරි බලන් ඉඳලා තියෙනවා වගේ. දැන් අවධානම වැටහුණා නම්, මේ Add-On එක ඔයා Install කරගනීවි. 

3) Grammarly for Firefox

මේක නම් ගොඩක් වැදගත් වෙයි කඩ්ඩෙන් බ්ලොග් පෝස්ට් වගේ දේවල් දාන කෙනෙක්ට. Grammarly කියන්නෙ ඉංග්‍රීසි ව්‍යාකරන සම්බන්ධ වෙබ් අඩවියක්. මේකේ premium එක නම් පට්ට ගාණක් ගෙවලා ගන්න ඕන, ඒත් සාමාන්‍ය නොමිලේ දෙන සංස්කරනය අපි වගේ එකෙක්ට හොඳටම ප්‍රමාණවත්, මේකෙන් ඔයා Browser එකේ කොහෙ හරි කඩ්ඩ ටයිප් කරනවා නම් ඒකේ තියෙනෙ ව්‍යාකරන දෝෂ, අකුරු වල අඩුපාඩු වගේ දේවල් රතු පාටින් යටින් ඉරක් ඇඳලා පෙන්නනවා, හරියට Microsoft Word වල වගේ. මං හිතන්නෙ දැන් කට්ටියට තේරෙන්න ඇති මේකෙ වටිනාකම. 


4) HTTPS Everywhere

HTTPS කියන්නෙ මොකක්ද කියන එක සරලව පැහැදිලි කළොත්, ඒකෙන් කරන්නෙ ඔයා යන වෙබ් පිටුවකට ඔයා ඇතුලත් කරන දත්ත සහ ලබා ගන්නා දත්ත, විශේෂයෙන්ම passwords, credit card details වගේ දේවල් වෙන කෙනෙක්ට හොරෙන් බලන්න බැරි වෙන්න encrypt කරන එක. මම මෙතන වෙන කෙනෙක් කිව්වේ ඔයා වැඩක් කර කර ඉන්න අතර ඔයාගෙ උරහිසට උඩින් එබිලා බලන කෙනෙක් ගැන් නෙවේ. මම කිව්වේ වෙබ් පිටුව අඩංගු සර්වර් පරිගණකයත්, ඔයාගෙ වෙබ් බ්‍රවුසර් එකත් අතර ඉන්න අතරමැදියෙක්ට (හැකර් කෙනෙක් වගේ) ගන්න බැරි වෙන්න (අතිශය අසීරු කරන්න) කරන දෙයක්.

ඒත් සමහර වෙබ් සයිට් වල මේ HTTPS කියන පහසුකම සක්‍රීය කරලා නෑ. මෙන්න මේ Extension එකෙන් කරන්නෙ ඔයා එහෙම පිවිසෙන අනාරක්ෂිත අඩවියක් ආරක්ෂිත තත්වයට පත් අරන එක. මේක ගොඩක් වටින Extension එකක් බව ආයෙ පැඃඇදිලි කරන්න ඕන නෑ මම හිතන්නෙ. අතිශය රහසිගත සහ පෞද්ගලිකත්වය ගැන විශේෂයෙන් සලකා බලන වෙබ් බ්‍රවුසර් එකක් වෙන Tor බ්‍රවුසර් එකේ inbuilt එක extension එකක් තමා HTTPS Everywhere කියන්නෙ. ඉතින්, ඔයාලත් අරගෙන බලන්න.


5) Myki Password Manager & Authenticator

හොඳයි, මේක මම උපරිම කෙටියෙන් කිව්වොත් Passwords Manager එකක්. (ඒ කියන්නෙ මොකක්ද කියලා මම වෙනම බ්ලොග් සටහනක් ලියන්නම් පසුවට.) මේ Passwords Manager එකේ තියෙන විශේෂත්වය තමා ඔයාගෙ passwords ඔක්කොම ගබඩා වෙලා තියෙන්නේ ඔයා ගාවම වීම. අනික මේකත් LastPass වගේ ඔයාගෙ devices ඔක්කොමත් එක්ක sync වෙන්න හදන්නත් පුළුවන්. පහුගිය කාලයේ ගොඩක් තාක්ෂණික අඩවි වල LastPass වල ආරක්ෂාව දුර්වල වීමක් ගැන ප්‍රචාරය වුනා. ඉතින් මමත් LastPass Password Manager එකෙන් Myki වලට මාරු වුනා. Myki කියන සමාගමට බොහොමයක් ආයතන වල ප්‍රශංසාව හිමි වෙලා තියෙනවා මේ Passwords Manager එකේ තියෙන විශේෂ ගුනාංග නිසා. 

https://myki.com/ අඩවියට පිවිසිලා ඔයාට මේ සමාගම සහ මේ Passwords Manager එක ගැන ගොඩක් විස්තර හොයාගන්න පුළුවන්. ඔයාලත් උත්සාහ කරලා බලන්න. LastPass පාවිච්චි කරපු කෙනෙක්ට මුලින් මේක ටිකක් අපහසුයි වගේ දැනේවි. ඒත් මේකේ ආරක්ෂාව අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.


6) uBlock Origin


ඔයා නිතර ඉන්ටනෙට් පාවිච්චි කරන කෙනෙක් නිසා (මේ වගේ බ්ලොග් එකක් කියවනවා නම් ඔයා එහෙම වෙන්න ඕන) ඔයා දන්නවා ඇති වෙබ් අඩවි වල තියෙන Ads නැත්නම් වෙළඳ දැන්වීම් නිසා අපිට තියෙන වදේ ගැන. ඔය වදයට විසඳුමක් විදියට අපි Ad-Blockers පාවිච්චි කරනවා. Ad-blocker Plus කියන Extension එක තමා මම මීට කලින් පාවිච්චි කලේ, ඒත් ඒ මෙන්න මේ uBlock Origin කියන Extension එක ගැන දැනගන්නකන් විතරයි. මොකද  Ad-blocker Plus කියන්නෙ ඔයාගෙ Device එකේ රැම් එක සහ Processing power එක අධිකව භාවිතා කරන Extension එකක්. ඒත් uBlock Origin  කියන්නේ බොහොම අඩු resources භාවිතා කරමින් බොහොම සක්‍රීයව Ads Block කරන Extension එකක්. 

එහෙනම් ඔයාගෙ device එකත් slow කරගන්නැතුව, Ads කරදරෙන් බේරෙන්න, මෙන්න මේ Extension එක භාවිතා කරලා බලන්න.


7) uGet Integration

ඔයාලා දන්නවනෙ IDM නැත්නම් Internet Download Manager කියන බොහොම කට්ටියක් භාවිතා කරන software එක. ඕක පාවිච්චි කරන්න නම් ඕක සල්ලි වලට ගන්න වෙනවා. ඉතින් අපි කවද්ද සල්ලි වලට software ගත්තේ නේද? ඉතින් අපි ඕක Crack කරනවා. ඔහොම කරන software භාවිතා කරන්න තියෙන බලවත් අකමැත්ත සහ මම Linux User කෙනෙක් නිසා මම ඔය IDM වෙනුවට භාවිතා කරන්නේ uGet කියලා නොමිලේ ලබාගන්න පුළුවන් software එකක්. ඔන්න ඕකට උපකාරී වෙන Extension එකක් තමා uGet Integration කියෙන්නෙ. 

මේ Extension එකෙන් කරන්නෙ ඔයා Firefox Download Manager එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න හදන File එකක් Firefox එකෙන් ඩවුන්ලෝඩ් වෙන්න නොදී uGet Manager එකට යවන එක. ඔයාට අවශ්‍ය විශාල ෆයිල් විතරක් Download Manager එකෙන් බාගන්න නම් ඒකට අදාල සැකසුම් එහෙමත් මේ Extension එක හරහා ඔයාට කරගන්න පුළුවන්. ඔයත් කැමති නම් නොමිලේ ලබාගෙන පාවිච්චි කරන්න පුළුවන් Download Manager එකක් පාවිච්චි කරන්න, මේක උත්සාහ කරලා බලන්න. ඔයා Linux User කෙනෙක් නම් මේක අනිවාර්යයෙන්ම බාගනීවි. මේ තියෙනේ uGet official අඩවිය. http://ugetdm.com/


8) User-Agent Switcher

මේ Extension එක ඔයාට වැදගත් වෙන්නේ මොකක් හරි වෙබ් පිටුවක් වෙනම device එකකින් බලනකොට කොහොමද පේන්නේ කියලා බලාගන්නයි. උදාහරණයක් විදියට ඔයාට පුළුවන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින්, ඇපල් iPhone එකකින්, tab එකකින් වගේ බොහොමයක් විවිධ device වලින් එක එක අඩවි පේන විදිය බලාගන්න. ඔයා web developer කෙනෙක් නම් මේකේ යම් වැදගත් කමක් තියේවි.

ඒ වගේම සමහර සයිට් වල Mobile version එක desktop version එකට වඩා සරල නිසා ඔයාට පුළුවන් අඩු දත්ත ප්‍රමාණයක් වැය කරලා සමහර අඩවි වලට ලොග් වෙන්න. උදාහරනයක් විදියට Facebook අඩවියේ desktop අඩවිය අතිශය විශාල එකක් වුනාට ඒකේ mobile අඩවිය ගොඩක්ම සරලයි. ඒ වගේම සමහර අඩවි වල බාගත කරගන්න දේවල් desktop site එකකින් ගිහින් බාගන්නවට වඩා phone එකකින් ගිහින් බාගන්න එක ලේසියි. එහෙම වෙලාවට බොහොම ලේසියෙන් ඔයාට පුළුවන් මේ extension එක පාවිච්චි කරලා ඔයාගෙ desktop browser එක Mobile Browser එකක් කරගන්න.


9) Video Download Helper

මේකෙ නමින්ම වැඩේ තේරෙන්න ඇති නේ, මේකෙන් පුළුවන් අපි සයිට් එකකට ගිහින් ඔන්ලයින් බලන එහමත් නැත්නම් Online Stream වෙන විඩියෝස් ඔයාගෙ device එකට බාගත කරගන්න. මේක ගැන ඉතින් ලොකු විස්තරයක් කරන්න අවශ්‍ය වෙන එකක් නෑ, මොකද මේකෙන් වෙන වැඩේ ඕන කෙනෙක්ට පැහැදිලියි නේ. 


10) S3 Translator


මේකෙන් කරන්නෙ ඔයා පිවිසෙන වෙබ් අඩවියක් ඔයාට තේරෙන භාෂාවකට පරිවර්තනය කරන එක. උදාහරණයක් විදියට ඔයා Chinese හරි Russian හරි අඩවියකට ගියා කියමුකො, මෙලෝ හසරක් තේරෙන්නෙ නැතිව අම්බානක් ඇනෙනවා නෙ. මම ඉස්සර Chinese අඩවියක් වුන Baidu කියන සයිට් එක නිතරම භාවිතා කලා මොකද ඒකෙන් අපිට 1TB ක්ලවුඩ් ස්පේස් එකක් නොමිලේම ලබාගන්න පුළුවන්. හැබැයි ඉතින් සයිට් එක ඔක්කොම ෆුල් චයිනීස්, අණ්ඩර දෙමළ ඊට වඩා හොඳ ඇති. :D අන්න ඒ සයිට් එක ඉංග්‍රීසි වලට දාගන්න තමා මම වැඪිපුර ඔය Extension එක පාවිච්චි කළේ. බොහොම ලේසියෙන් ඕනම භාෂාවක් මේක යොදාගෙන පරිවර්තනය කරගන්න පුළුවන්. විශේෂත්වය තමා අදාල වෙබ් පිටුවේ තියෙන හැම වචනයක්ම පරිවර්තන වීම, ලිංක් වල තියෙන වචන පවා පරිවර්තනය කරගන්න පුළුවන්. මං හිතන්නෙ මේක ඔයාටත් වැදගත් වේවි.

එහෙනම්, මෙතනින් පෝස්ට් එක අවසානයි. තවත් පෝස්ට් එකක් අරන් එනතුරු, ඔබට ජය!

Post a Comment

0 Comments