ස්පැගටි දහම

මෙම ලිපිය ලිවීමට ප්‍රස්තුත වන්නේ ලාංකිකයන් විසින් වසර 17ක් පැරණි ස්පැගටි දහම වැරදිම කොණකින් අල්ලාගෙන දඟලන අයුරු තවත් බලා සිටීම කළ නොහැක්කක් වීම හේතුවෙනි. මෙහි සත්‍ය කතාව අන්තර්ජාලය පරිශීලනය කිරීමෙන් කියවා ඉගෙනගත හැකිවුවත් එහි සිංහල පරිවර්තනයක ඇති දරුණු හිඟය හේතුවෙන් බොහෝ දෙනා අඳුරේ අතපත ගාමින්, පරුෂ වචනයෙන් ස්පැගටි දහමට දොස් පවරමින් සිටී. මෙම නොදන්නා, අලුත් ලෙස පෙණුනත් එතරම් අලුත් නැති, දහම ගැන සොයා බැලීම කාලීන අවශ්‍යතාවක් ලෙස සලකා මෙම ලිපිය මෙසේ අරඹමි.

මනුෂ්‍යයා මෙන්ම, අන් සියළු සත්වයන්ද, ගස් වැල් වලද හට ගැනීම නොහොත් මෙලොව පහල වීම ගැන විවිධ මති මතාන්තර පවතී. විද්‍යාත්මක සංකල්ප දියුණු නොවූ අතීතයේ, මෙම පහලවීම් සම්බන්ධව විවිධ ආගම්, දර්ශන මඟින් විවිධ න්‍යායන් ඉදිරිපත් කර තිබේ. නමුත්, විද්‍යාත්මක සංකල්ප දියුණු වීමෙන් පසු, මෙලොව අවුරුදු මිලියන ගණනකට පෙර සිදු වූ සිදුවීම් ගැන තොරතුරු නිරාවරණය වන්නට විය. "පරිණාමය" යන්න මෙහිදී මතුවූ "වාදයයි" නමුත් තවදුරටත් අපි පරිණාමවාදය යන වචනය භාවිතා කර නොගන්නේ, විද්‍යාත්මක සාක්ෂි සාධක සහිතව ඔප්පු වූ පරිණාමය තවදුරටත් විවාදයට බඳුන් විය යුත්තක් නොව, පැහැදිලි සත්‍යක් වන බැවිනි. මේ පිළිබඳව ඉතා සවිස්තරාත්මකව, සිංහල භාෂාවෙන් තොරතුරු ලබා ගැනීමට පරිණාමික දිනපොත බ්ලොග් එක පරිශීලනය කරන්න. 


මෙලෙස කටයුතු පවතින අතරේ, ලෝක බලවතා ලෙස අප තවමත් හඳුනාගන්නා, විද්‍යාව හා තාක්ෂණය අතින් අතිශය දියුණු යැයි කියන ඇමරිකා එක්සත් ජනපදයේ අමුතු වැඩක් සිදු විය. ඒ 2005 වර්ෂයයි. ඇමරිකාවේ කැන්සාස් ප්‍රාන්තයේ අධ්‍යාපන බලධාරීන් විසින් තීරණය කරන ලද්දේ, ජීව විද්‍යාව ඉගැන්වීමේදී පරිණාමය ගැන සහ මැවුම්වාදය* (සත්‍ය ලෙසම මෙය මැවුම්වාදය නොවේ. ඒ හා සමාන හා විද්‍යාත්මක නොවන වාදයකි. මෙමඟින් ද පරිණාමය/ ස්වාභාවික වරණය වැනි දෑ ප්‍රතික්ෂේප කරයි.) ද ඉගැන්විය යුතු බවයි. ඔබටත් මටත් මෙය මහත් විහිළුවක් සේ පෙනෙනු නොඅනුමානයි. විද්‍යාව ඉගෙනගන්නා සිසුවන් හට එවැනි වාදයක් උගන්වන්නේ අහවල් මගුලට දැයි ඔබ අසනු ඇත. නමුත් සිදු වී ඇත්තේ එයයි.


මෙම මෝඩ තීරණය ගැන විද්‍යාවට ලැදි සියල්ලෝ විරුද්ධ විය. ඒ අතර මෙම තීරණයෙන් අතිශය කේන්තියට පත් එක් භෞතික විද්‍යා උපාධිධාරියෙකු විය. ඔහු නමින් බොබී හෙන්ඩ(ර්)සන් ය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 24කි. ඔරිගන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව හදාරා උපාධිය ලත් ඔහු මෙම අමනෝඥ තීරණය දැඩි සේ විවේචනය කළ පුද්ගලයෙකු විය. ඔහු වරක් පවසා සිටියේ ඔහුට ආගම් සමඟ කිසිම තරහක් නැති බවත්, ආගම් සහ විද්‍යාව එකට මිශ්‍ර කර ගැනීම ගැනීම තරම් ගොන් කමක් නොමැති බවත් ය. ආගම් මෙලොව පැවතිය යුතු නමුත්, බොබී පවසන ලෙස, ආගමත් විද්‍යාවත් වෙනස් ක්ෂේත්‍ර දෙකක් ලෙස පටලවා නොගෙන පැවතිය යුතු බව මම ද විශ්වාස කරමි.


කෙන්සාස් හි අධ්‍යාපන බලධාරීන් ගත් අමනෝඥ තීරණය හාස්‍යයට ලක් කිරීම සහ නිර්මාණාත්මකව එයට විරෝධය පෑම සඳහා බොබී හෙන්ඩ(ර්)සන් විසින් බොහෝ සිත් ගන්නා ක්‍රියාවක් සිදු කරන ලදි. ඔහු විසින් උක්ත අධ්‍යාපන බලධාරීන් වෙත ලියමනක් ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ, විද්‍යාඥයකු, කාබන් ඩේටිං (කිසියම් වස්තුවක් කෙතරම් පැරණිද යන්න සොයා බැලීම සඳහා යොදාගන්නා ක්‍රමවේදයක්.) කිරීම මඟින් කිසියම් වස්තුවක වයස නීර්ණය කරන මොහොතේ එම කාර්යයට අදෘශ්‍යමාන සත්ත්වයෙකු බල්පෑම් කරන බවත්, එම සත්ත්වයා විසින් අදාළ ප්‍රතිඵල විකෘති කරන බවත් ය. 


මෙම සත්ත්වයා දේවත්වයෙන් සැලකිය යුතු බවත් එහිදී කියැවුණි. මෙම අදිසි දෙවියා (හෝ රාක්ෂ තුමා) ස්පැගටි සහ මීට් බෝල්ස් වලින් සැදීගත් එකෙකි. ස්පැගටි යනු නූඩ්ල්ස් ආකාරයේ ආහාරයකි. මෙවන් දෑ ඔහු යොදා ගනු ලැබුවේ පෙර කී අධ්‍යාපන බලධරයින්ගේ තීරණය සමච්චලයට ලක් කිරීමට බව අමුතුවෙන් සඳහන් කිරීම අනවශ්‍ය යැයි සිතමි. පෙර කී ලිපිය මඟින් බොබී හෙන්ඩ(ර්)සන් පවසා සිටියේ මෙම ස්පැගටි දෙවියා ගැනත් ඉගැන්වීම සඳහා වේලාව වෙන් කරන ලෙසත්, ජීව විද්‍යා පංති කාමරයක් තුළ මැවුම්වාදය වැනි සිතළුවක් උගන්වන්නේ නම්, ඔහුගේ මෙම සංකල්පය ද ඒ හා එකසේ වලංගු වන බවත් ය. එමෙන්ම ඔහු සඳහන් කර සිටියේ "පියාඹන ස්පැගටි රාක්ෂතුමා" (Flying Spaghetti Monster) විසින් මෙම විශ්වය මවා ඇති බවයි. 


ජීව විද්‍යා කාලච්ඡේදය තුනට බෙදා, මුල් කාලච්ඡේදය මැවුම් වාදය ඉගැන්වීමටත්, ඊළඟ කාලච්ඡේදය ස්පැගටි දහම ඉගැන්වීමටත්, අවසන් කාලච්ඡේදය සාක්ෂි සාධක සහිතව ඔප්පු කර ඇති විද්‍යාත්මක දෑ ඉගැන්වීමටත් ඔහු විසින් බාරදුන් ලිපියේ යෝජනා කර තිබුණි. 


සෑහෙන කාලයක් තිස්සේ මෙම ලිපියට පිළිතුරු ලැබෙන තෙක් බලා සිටි බොබී හෙන්ඩ(ර්)සන්, පිළිතුරක් නොමැති තැන මෙම ලිපිය ඔහුගේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කරන ලදි. අන්තර්ජාලයේ අතිශය ජනප්‍රිය වූ මෙම ලිපිය බොහෝ දෙනාගේ අවධානය දිනාගත් අතර, බොබී හෙන්ඩ(ර්)සන් පවසන ආකාරයට එම ලිපියට පැමිණි ප්‍රතිචාර වලින් 95% ක් පමණම ඔහුට එකඟව පැමිණි ප්‍රතිචාර වූ අතර, 5%ක් පමණ දෙනා බොබී හෙන්ඩ(ර්)සන්ගේ මෙම ලිපිය දෙවියන් වහන්සේට කළ මහත් අගෞරවයක් ලෙස සහ ඔහු අපාගත වන බව මෙන්ම ඔහු මරා දමන බවට එල්ල කළ තර්ජන වලින් ද යුක්ත විය. කෙසේ නමුත්, ලබාගත් මහත් ප්‍රසිද්ධිය හමුවේ අධ්‍යාපන බලධාරීන් විසින් පත් කර තිබූ සිව් පුද්ගල කමිටුවේ තුන් දෙනෙක්ම බොබී විසින් ඉදිරිපත් කර ඇති තර්කය සාධාරණ බව පිළිගත් අතර, එක් අයෙකු පමණක් විරුද්ධ විය.


ඒ කෙසේ නමුත් මෙම බොබී හෙන්ඩ(ර්)සන් විසින් ඉදිරිපත් කළ ස්පැගටි දහම ලැව් ගින්නක් සේ අන්තර්ජාලය පුරා පැතිරී යන්නට වූ අතර, Pastafarianism (පැස්ටාෆාරියන් දහම) ලෙස වරනැඟී අදේව වාදීන්ගේ අවියක් බවට පත් විය. දේවවාදීන්ට සමච්චල් කිරීම සඳහා මෙම සංකල්පය බහුලව භාවිතා වූ අතර "ඔබලා කිසිදා දැක නැති සර්වබලධාරි දෙවියෙක් සිටී යැයි විශ්වාස කරනවානම්, අප ස්පැගටි රාක්ෂතුමා ඇදහීමේ වරද කුමක් දැ" යි අසමින් දේවවාදීන්ගේ තර්ක බිඳ දැමීම සඳහා බහුලව භාවිතා වන්නට විය.


මෙසේ අවුරුදු ගණනාවක් තිස්සේ පැවත එන ස්පැගටි දහම මේ වන විට සමහර රටවල සමාජයන් තුළ තවත් එක් ආගමක් බව නෛතිකවම පිළිගන්නා තත්වයට දියුණු වී ඇත. කෙසේ නමුත්, ලාංකිකයන් විසින් බොහෝ මෑතක මෙම ස්පැගටි දහම සම්පූර්ණයෙන්ම වැරදි ලෙස වටහාගෙන, එහි අගක් මුලක් නොදැන කරන විහිළු සහගත ප්‍රකාශ නිසා එහි මූලාරම්භය ගැන මෙසේ හෙළ බසින් ලියා තැබීමට තීරණය කළෙමි. 


උක්ත මාතෘකාව ගැන ඔබ දන්නා දේ එකතු කරන ලෙසත්, කිසියම් නිවැරදි කිරීමක් වෙතොත් එය ද දන්වන ලෙසත් ඉල්ලමින් නවතිමි. ඔබට පියාඹන ස්පැගටි රාක්ෂතුමාගේ පිහිටයි.

Post a Comment

0 Comments