Torrent කියන්නේ මොකක්ද?

ඔයා Internet පාවිච්චි කරන කෙනෙක් නම්, Torrent කියන වචනය අහලා ඇති. ඔයා Internet එකෙන් Film බාන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේක අහලා ඇති. ඒත් ඔයා දන්නෙ නැත්තම්, ඇත්තටම මොකක්ද මේ Torrent කියන්නෙ කියලා, ඔන්න අද පුළුවන් Torrent ගැන ඉගෙනගන්න. මේක ටිකක් සංකීර්ණ කතාවක්, මම උපරිම උත්සාහ කරන්නෙ මේක සරලව ඔයාලගෙ ඔළුවට දාන්න. බලමු වැඩේ සාර්ථක වේවිද කියලා.  එහෙනම් අපි යමු අපේ Torrent පාඩමට.

***

Torrent හැඳින්වීම  

Torrent ජාලය ආරම්භ වෙන්නේ මීට අවුරුදු 17 කට විතර කලින්, 2001 අවුරුද්දේ. Torrent කියන සංකල්පය දියුණු කරලා ඒක ක්‍රියාවට නැංවුණේ Bram Cohen කියන Python ක්‍රමලේඛ ශිල්පියා විසින්. Torrent සෑදීමේ මූලික පරමාර්ථය වුණේ සියලු දේ, සියළු දෙනා අතර බෙදා හදා ගන්න පුළුවන් ජාලයක් නිර්මාණය කිරීමයි. 

මේ සේවාව මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න ගත්තේ අවුරුදු 4 කට පස්සේ, ඒ 2005 දී විතර. ඊට පස්සේ Torrent කොච්චර ජනප්‍රිය වුණාද කියනවා නම්, මේ වෙනකොට මුළු ලෝකය පුරා මිලියන ගාණක් users ලා Torrent භාවිතා කරනවා. හොඳම දේ මේ සේවාව භාවිතා කරන්න අපිට සතයක් වත් වියදම් වෙන්නෑ. (අන්තර්ජාල සේවාවට ISP අය කරන ගාස්තුව හැර)

Torrent, එහෙමත් නැත්නම් Bittorrent ප්‍රොටොකෝලය Free & Open-Source මාදිලියේ එකක්. ඒ නිසා ඉතින් මේකෙ කිසිම හැංගුණ නපුරක් නෑ වගේම Torrent ජනප්‍රිය වුණා කියලා එක මනුස්සයෙක්ට ලාභ ලැබිලා ඌ කෝටිපතියෙක් වෙන්නෙත් නෑ. මේක නිකන් මහජන සේවාවක් වගේ දෙයක්. 

Torrent වල භාවිතා වෙන්නේ Peer to Peer නැත්නම් P2P කියන ක්‍රමවේදය. මේ මොකක්ද?

Peer to Peer ක්‍රමවේදය

Traditional Downloading 

P2P ඉගෙනගන්න කලින්, අපි බලමු සාමාන්‍ය Download කිරීමක් සිදුවෙන්නේ කොහොමද කියලා. ඒක වෙන්නෙ මෙහෙමයි, ඔයාලා හිතන්න ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න ඇප් එකක් මට දෙන්න ඕන. (මම මේ පෝස්ට් එකේ උදාහරණය විදියට දිගටම ගන්නේ ඇප් එකක් කියන එක, ඔයාට පුළුවන් ඕන නම් මේක ඇප් එකෙක් නෙවෙයි ෆිල්ම් එකක්, සිංදුවක් හෝ ඕනම ෆයිල් එකක් කියලා හිතාගන්න) එතකොට මම කරන්නෙ ඒ ඇප් එක කොහේ හරි තියෙන Server එකකට Upload කරලා ඔයාලට ඒකෙ URL එක ලබා දෙනවා. එතකොට ඔයාට පුළුවන් ඒ URL එක හරහා ඇප් එක බාගන්න. මම ඒ ඇප් එක කොහේ හරි Server එකකට දැම්මට පස්සේ ඔයාට ඕනම වෙලාවක ඒ ෆයිල් එක ඒ Sever එකෙන් බාගන්න පුළුවන් නෙ? ඒකට මම මගේ ලැප් එක ඔන් කරන් ඉන්න ඕන නැහැ නෙ.  ඔයාලට දැන් තේරෙන්න ඕන මේ වැඩේදි Server එක තමයි ලොකුම වැඩේ කරන්නෙ. මම File එක අප්ලෝඩ් කරන්නෙත් Server එකට, ඔයාලා ෆයිල් එක බාන්නෙත් සර්වර් එකෙන්.

Peer to Peer Downloading

හැබැයි, Peer to Peer නොහොත් P2P ෂෙයාරින් වලදී මේ විදියට Server එකක් මූලිකත්වය ගන්නෙ නැහැ. P2P වලදී, Server එක වෙන්නෙත්, Client වෙන්නෙත් අපි අපි මයි.

මේකෙදි වෙන්නේ, Server එකක උදව්වකින් තොරව කෙළින්ම Client පරිගණක හෝ උපාංග අතර ගොණු හුවමාරු කරගැනීමක්. මේ වැඩේට ඔයාට ඕන වෙන්නේ අන්තර්ජාල සබඳතාවක් සහ Client Software එකක් විතරයි. ඊට පස්සෙ ඔයාට පුළුවන් ඔයා ගාව තියෙන ඕනම ගොණුවක්, ඔයා වගේම මේ ජාලයට සම්බන්ධ වෙලා ඉන්න ඕනම කෙනෙක් එක්ක බෙදාගන්න. ඒ වගේම එයාලා බෙදාගන්න දේවල් ඔයාටත් ලබාගන්න.  

Torrent වල අභ්‍යන්තර ක්‍රියාව.

Torrent වල ක්‍රියාකාරිත්වය ගැන නිවැරදි, පැහැදිලි අවබෝධයක් ලබාගන්න නම් අපිට සිදුවෙනවා BitTorrent Protocol එකේ ක්‍රියාකාරිත්වය ගැන අධ්‍යනය කරන්න. ඉතින්, මොකටද තවත් බල බල ඉන්නේ, අපි යමු ඒක ගැන ඉගෙනගන්න. 

BitTorrent ක්‍රමවේදයේ භාවිතා වෙන්නෙත් P2P ක්‍රමයමයි. සාමාන්‍ය P2P ජාලයකදී අපි කතා වුණා Server එකක සබන්ධතාවක් නැතිව ගොණු හුවමාරු වෙන බව. හැබැයි, BitTorrent ප්‍රොටොකෝල් එකේදී, සර්වර් එකක් භාවිතා වෙනවා, මේ සර්වර් එක විශේෂ නමකින් හඳුන්වනවා Tracker එක කියලා. අනිත් වෙනස තමයි, BitTorrent Protocol එකේ තියෙනවා දෙන තරමට ලැබීමේ න්‍යාය. ඒ කියන්නේ, අපි Files Seed කරන තරමට, අපේ Downloads වේගවත් වෙනවා. Seed කරනවා කියන්නෙ මොකක්ද කියලා ඉදිරියට දැනගන්න පුළුවන්. 

Torrent ගොණුවක් සාදාගැනීම


හොඳයි එහෙනම් අපි වැඩේ ගැන  අවධානය යොමු කරමු, 

හිතන්නකො මම අර කලින් කියපු ඇප් එක ඔයාලට දෙන්න ඕන වෙලා, මම තීරණය කරනවා ඒක ඔයාලට Torrent මඟින් ලබා දෙන්න. මම මුලින්ම කරන්නෙ Torrent Client Software එකක් මගේ පරිගණකයට ස්ථාපනය කරගන්නවා. මේ විදියේ Torrent Client Software වලට උදාහරණ තමයි BitTorrent, uTorrent, Deluge, Vuze සහ qBitTorrent වගේ software. මෙයින් එකක් මම මගේ පරිගණකයට ස්ථාපනය කරාට පස්සේ මට පුළුවන් මේ Software එක හරහාම ඒක අනික් අය සමඟ බෙදාහදා ගන්න Torrent ජාලයට එකතු කරන්න. 

ඒ එකතු කරාම Tracker කියන නමින් අපි හඳුන්වන Server එක දැනගන්නවා මම මෙහෙම ගොණුවක් BitTorrent ප්‍රොටොකෝලය මඟින් ක්‍රියාත්මක වෙන මේ ජාලයට එකතු කරපු බව. (ඇත්තටම මෙහෙම සර්වර්ස් එකක් නෙවෙයි මහ ගොඩක් තියෙනවා.) ඊට පස්සේ, අපිට අර Tracker එකෙන් ලබා දෙනවා .torrent එක්ස්ටෙන්ෂන් එක සහිත ෆයිල් එකක්, එහෙම නැත්නම් මට පුළුවන් ලබාගන්න Magnet Link එකක්. දෙකෙන් කෝක වුණත් අවුලක් නෑ එකම වැඩේ වෙන්නෙ.  

මට පුළුවන් ඔයාලට මේ .torrent කියන Extension එක සහිත ෆයිල් එක (මේක 10KB වගේ සයිස් බොහොම පොඩි ගොණුවක්) හෝ අර කලින් කිව්ව Magnet Link එක ඔයාලා එක්ක බෙදාගන්න, නැත්නම් මේ සයිට් එකේ දාන්න. 

එහෙමත් නැත්නම් මට ඕන වෙනවා අර කලින් කිව්ව ඇප් එක ලෝකේ හැමෝ එක්කම වගේ බෙදාගන්න, ගොඩක් අයට ඒක කියන්න. මොකද මේ සයිට් එක බලන්නේ ඔයාලා විතරයිනේ, ඉතින් මට පුළුවන් අර Magnet Link එක හෝ Torrent File එක Torrent අඩවියකට ලබාදෙන්න. ඒ වගේ අඩවි ගැන ඔයා දන්නවා ඇති, මෑතකදි සාමූහික වශයෙන් බ්ලොක් වීමකට ලක් වුණෙත් අන්න ඒ අඩවි තමා, ඒවට උදාහරණ තමයි ThePirateBay, KickAss, YiFi නොහොත් YTS, 1337x, RARBG ආදී බොහෝ අඩවි. ඒ අඩවියකට ගිහින්, එතනින් ලබාගන්න Magnet Link එකෙන් හෝ Torrent file එකෙන්, ලෝකේ ඕනම කෙනෙක්ට පුළුවන් මගේ App එක බාගන්න.

Torrent ගොණුවක් බාගත කිරීම

අපි හිතමු ඔයාලා හැමෝමත් අර මම කලින්ම කිව්වා වගේ Torrent Client එකක් ඉන්ස්ටෝල් කරගෙන ඉන්නවා කියලා, මම අර මොන යම් හෝ ක්‍රමයකට බෙදාගන්න මගේ App එකට අදාල Torrent File එක ඔයා ලබාගෙන ඔයා ඒක ඕපන් කරනවා කියලා හිතමුකො ඔයාගෙ Torrent Client එකේ. එහෙමත් නැත්නම් ඔයා ක්ලික් කරනවා මම බෙදාගත්ත Magnet Link එක උඩ. එතකොට වෙන්නේ Automatically අර Torrent Client එක මතු වෙලා ඔයාට පෙන්නනවා මෙන්න මේකයි ඔයා දැන් ලබාගන්න යන ෆයිල් එක අනන් මනන් විස්තර ටිකක්. 

ඊට පස්සේ ඔයා ඒ ෆයිල් එක Download කරන්න පටන්ගන්නවා. එතකොට වෙන්නේ මගේ පරිගණකයෙන් කෙලින්ම ඔයා මගේ App එක බාගන්න එක. ඒ වැඩේට අනිවාර්යෙන් මම මගේ පරිගණකය On එකේ තියාගන්න ඕන වගේම මම අන්තර්ජාලයටත් සම්බන්ධ වෙලා, Torrent Client වැඩසටහනත් Background එකේ හරි Run වෙන්න දෙන්න ඕන. 

ඔයා මගේ ලැප් එකෙන් මම Share කළ ඇප් එක ඩවුන්ලෝඩ් වෙවී දැන් තියෙනවා කියමුකො, යම්කිසි ප්‍රතිශතයක, 30% කියමුකො, අන්න ඒ මොහොතේ ලෝකේ තව කාටහරි මගේ ඇප් එක ඕන වෙලා එයත් Magnet Link එකෙන් හරි Torrent File එකෙන් හරි මගේ ෆයිල් එක Download කරන්න පටන්ගන්නවා. අපි එයාගෙ නම ටෝනි ස්ටාර්ක් කියමු, එතකොට අර ටෝනි ස්ටාක් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ මගේ පරිගණකයෙන් විතරක් නෙවෙයි, 30% ක් සම්පූර්ණ කරන් ඉන්න ඔයාගෙනුත්, සම්පූර්ණ ෆයිල් එක තියාගෙන ඉන්න මගෙනුත් දෙන්නගෙන්ම එක පාරට එයා අර ෆයිල් එක ඩවුන්ලෝඩ් කරනවා. මේක ටිකක් සංකීර්ණයි තමයි, ඒ වුනාට තේරුම්ගන්න උත්සාහ කරන්න. 

මම ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ නෑ, නමුත් මම ඒ ෆයිල් එක මං ළඟ තියාගෙන ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න ඉඩ ලබා දෙනවා. මම Seeder කෙනෙක්. ඔයා, 30%ක් අදාළ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන, ඩවුන්ලෝඩ් කරමින්ම තව කෙනෙක්ට Upload කරනවා. ඔයත් එක්තරා විදියක Seeder කෙනෙක් තමයි, නමුත් ඔයා ගාව සම්පූර්න ගොණුව නැති නිසා, ඔයා 30% ක ප්‍රතිශතයක ඉඳන් Download සහ upload කියන වැඩ දෙකම එකපාරට කරමින් ඉන්න නිසා, ඔයාට විශේෂ නමකින් අපි අමතනවා Swarm කියලා, එහෙමත් නැත්නම් Peer එකක් කියලා. .

ටික වෙලාවකට පස්සේ ඔයා මගේ පරිගණකයෙන් ෆයිල් එක සම්පූර්ණයෙන් ලබාගන්නවා. ඒත් ඔයා Torrent Client Software එක වහලා දාන්නේ නෑ, ඕපන් කරගෙනම හෝ Background එකේ Run වෙන්න දීලා ඔයා වෙන වැඩක් කර කර ඉන්නවා. දැන් ඔයත් Seeder කෙනෙක්. එතකොට අර ටෝනි ස්ටාක් ඔයාගෙනුයි, මගෙනුයි දෙන්නගෙන්ම ඩවුන්ලෝඩ් කරන නිසා එයාට Seeders ලා දෙන්නෙක් ඉන්නවා, ඔයාට හිටියෙ එක්කෙනයි, ඒ මම. ඒත් ටෝනිට දැන් Seeders ලා දෙන්නෙක් ඉන්න නිසා එයාගෙ Download ස්පීඩ් එක දැන් වැඩියි.

ටෝනි දැන් අර ෆයිල් එක 60% ක් ඩවුන්ලෝඩ් කරන් ඉන්නවා, ඒ අතරේ ලෝකේ කොහේ හෝ ඉන්න තවත් කෙනෙක් ටත් මගේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන වෙනවා. අපි එයාට ස්ටීව් ‍රොජර්ස් කියමු. එයාත් ඔන්න ඩවුන්ලෝඩ් කිරීම ආරම්භ කරනවා, එතකොට ස්ටීව්, මගෙනුත්, ඔයාගෙනුත්, ටෝනිගෙනුත් තුන් දෙනාගෙන්ම අර ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ගන්නවා, ස්ටිව් ගේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක හැමෝටම වඩා වැඩී. තාමත් මම Seeder කෙනෙක්, ඔයාත් Seeder කෙනෙක්, ටෝනි ස්ටාක් දැන් Swarm/Peer කෙනෙක්. ටික වෙලාවකින් ටෝනි ත් 100% ක් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා Seeder කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මගේ මේ Torrent එකට දැන් Seeders ලා තුන් දෙනෙක් සහ එක Swarm කෙනෙක් ඉන්නවා. 

අන්න ඔය විදියටයි මේක ක්‍රියාත්මක වෙන්නේ. කට්ටිය මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න එකතු වෙන තරමට Torrent ඩවුන්ලෝඩ් එක ස්පීඩ් වෙනවා. ඒක තමයි Torrent වල හොඳම ගුණාංගය. මොකද, සාමාන්‍ය Client - Server ඩවුන්ලෝඩ් කිරීමකදී වෙන්නේ ඩවුන්ලෝඩ් කරන පිරිස වැඩි වෙනකොට ඩවුන්ලෝඩ් එක මන්දගාමී වීම. මේක ඒකේ අනික් පැත්ත. මේ වැඩේ ගැන දැන් අවබෝධයක් ඇති කියලා මම හිතනවා, Seeders ලා වැඩි වෙන තරමට Torrent එක වේගෙන් ඩවුන්ලෝඩ් වෙන්න හේතුවත් දැන් පැහැදිලි ඇති. මොකද තනි කම්පියුටර් එකකින් බානවට වඩා ගොඩකින් එකපාර බාන එක ගොඩක් ඉක්මන් නේ.

අනිත් වැදගත් කාරණාව තමයි, මේ විදියට Seeders ලා ගොඩකින් එකපාරට ෆයිල් එකක් Download කරගැනීමේ පහසුකම, Swarm එකකින් File එක බාන ගමන්ම upload කරන්නත් පුළුවන් කම ලැබීම වගේ සුපිරි ලක්ණ BitTorrent ප්‍රොටොකෝලයට ලැබිලා තියෙන්නේ, එක් විශේෂ කාරණාවක් නිසා.

අපි Torrent වෙත මුදාහරින සෑම ගොණුවක්ම තියෙන්නේ කුඩා කොටස් විදියට. මම 100MB සයිස් ෆයිල් එකක් ටොරන්ට් එකට දැම්මොත්, ඒක කොටස් 100කට හෝ 200කට හෝ යම් ප්‍රමානයකට කැඩිලා ගිහින් 1MB හෝ 512KB හෝ යම් සයිස් එකක කැබලි බවට පත් වෙනවා. මේවාට මේ ප්‍රොටොකෝලයේදී කියන්නේ Bits කියලා. Torrent Download කිරීමකදී ඇත්තටම වෙන්නේ සම්පූර්න ෆයිල් එක බාගත කිරීම නෙවෙයි, අර කලින් කිව්ව විදියට කැඩිලා ගිය කොටස් එක එක තැන් වලින් අපිලිවෙලට ඩවුන්ලෝඩ් කරගෙන ඒවා පිළිවෙලට තියලා අන්තිමේදී ඒ කෑලි ටිකෙන් සම්පූර්ණ ෆයිල් එක සාදා ගැනීම. මෙන්න මේ කෑලි විසිරිලා තියෙන තැන් ගැන Tracker Server වලින් තමයි දැනගන්නේ, ඒ වගේම කෑලි ටික එකතු කරලා තනි ෆයිල් එක සාදාගැනීමේ කාරිය Torrent Client එක විසින් කරගන්නවා.

අපි අපේ කලින් උදාහරණයට ගියොත්, මම, ඔයා සහ ටෝනි ස්ටාක් කියන Seeders ලා තුන් දෙනාගෙන් ස්ටීව් රොජර්ස් අර ගොණුව බාගත කරනවනේ, ඒ මෙහෙමයි, ෆයිල් එකේ එක කෑල්ලක් ගන්නවා ඔයාගෙන්, තව කෑල්ලක් ගන්නවා ටෝනි ගෙන්, ආයෙ කෑල්ලක් ගන්නවා මගෙන්, ආයෙ කෑල්ලක් ගන්නවා ටෝනිගෙන්, අන්න එහමයි මේක වෙන්නේ. 

දැන් අපි තව දෙයක් බලමුකෝ, ඔය විදියට අපේ හතරවැනියා, ස්ටීව් රොජර්ස්, ෆයිල් එක ඩවුන්ලෝඩ් කර කර ඉන්න අතරේ එකපාරට ටෝනි ස්ටාක් එයාගෙ කම්පියුටර් එක ඕෆ් කරලා දානවා. (නැත්නම් ඉන්ටනෙට් කනෙක්ෂන් එක වහනවා, නැත්නම් බාගත්ත ෆයිල් එක වෙන තැනකට move කරනවා, එහෙමත් නැත්නම් ටොරන්ට් ඇප් එක වහලා ක්ලෝස් කරලා දානවා බැක්ග්‍රවුන්ඩ් එකේ වත් රන් නොවෙන්න) අන්න එතකොට ස්ටීව් රොජර්ස් ගේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක අඩාල වෙනවා, මොකද එයා කලින් මගෙනුත්, ඔයාගෙනුත්, ටෝනි ගෙනුත් යන තුන් දෙනාගෙන්ම එකපාරට අර ෆයිල් එක ඩවුන්ලෝඩ් කර කර හිටියේ, ටෝනි කරපු අලුගුත්තේරු වැඩේ නිසා දැන් ස්ටීව් රොජර්ස් ට ඉන්නේ සීඩර්ස් ලා දෙන්නයි, ඔයයි මායි විතරයි. අන්න ඒ විදියට, තමන්ට ඕන ෆයිල් එක බාගෙන ආත්මාර්ථකාමී විදියට ෂේප් වෙන අයට අපි කියනවා Leech/Leecher කෙනෙක් කියලා. 

Leech කියන්නෙ අණුකම්පා විරහිත තැනැත්තා කියන එකට (Dictionary එකේ බලන්න) කූඩැල්ලාටත් කියන්නෙ Leech කියලා, ඉතින් Leecher කෙනෙක් කියන්නේ අනුකම්පා විරහිත, කූඩැල්ලෙක් වගේ ජරා සතෙක්ට. මොකද, Torrent ඩවුන්ලෝඩින් වල තියෙන හෙනේ තමයි මෙන්න මේ Leechers ලා වැඩි වීම. ඒකටත් ප්‍රතිකර්මයක් අපේ BitTorrent හොයාගත්ත Bram Cohen විසින් හදලා තියෙනවා, මෙන්න මේ Leechers ලගේ ඊළඟ ටොරන්ට් ඩවුන්ලෝඩ් එක පට්ට ස්ලෝ. Seeders ලගේ ඊළඟ Torrent download එක නිතරම වේගවත්. 

***

හම්මෙහ්, හරි. මං හිතන්නෙ මම ඔයාලට කියලා දෙන්න හිතාගෙන ආව ඒවා ඔක්කොම මේකෙ ලිව්වා, තව මොනා හරි හැලුණද දන්නෙත් නෑ, එහෙම නම් පහළින් කමෙන්ට් කරලා මගෙන් අහන්නකො. කියන්නම ඕන දෙයක් තියෙනවා, මේ BitTorrent ප්‍රොටොකෝලය හරහා විතරක් නෙවෙයි, ඕනම P2P ක්‍රමයක් හරහා බෙදාගන්න ෆයිල්ස් හැම නිතරම නීත්‍යාණුකූල නෑ. හරිනම්, අපි ඔය Torrent හරහා ඩවුන්ලෝඩ් කරන චිත්‍රපට කිසිම එකක් අපි ලබාගන්නේ නීත්‍යාණුකූලව නෙවෙයි.  

හැබැයි, කිසිම එකෙක්ට එහෙම Torrent හරහා ෂෙයා වෙන ෆයිල් එකක් නීත්‍යාණුකූල නෑ කියලා මකලා දාන්නත් බෑ. ඒ ඇයි? ඔයා හිතන්නකො මම කාගෙ හරි ෆයිල් එකක් හොරකම් කරලා ඒක Google Drive එකට අප්ලෝඩ් කරලා ඒකෙ ලිංක් එක ඔයාලා එක්ක බෙදාගන්නවා, හැබැයි මේ වැඩේ අර ෆයිල් එකේ අයිතිකාරයා දැනගත්තොත් එයාට පුළුවන් Google එකට මේක රිපෝට් කරලා අදාළ ගොණුව අයින් කරවලා දාන්න.

ඒත් මම ඒ ගොණුව ඔයාලා එක්ක බෙදාගත්තේ Torrent මඟින් නම්, අදාල ගොණුවේ අයිතිකාරයට යන්න වෙනවා ලෝකෙ වටේ, මොකද ඔයාලා දන්නවා දැන් Torrent ඩවුන්ලෝඩ් කරනකොට ඒක ඩවුන්ලෝඩ් වෙන්නේ කෑලි වලට කැඩිලා, මම අර හොරෙන් බෙදාගත්ත ෆයිල් එකේ කොටස් වගේම සම්පූර්ණ ෆයිල් ලෝකේ වටේ තියෙන Seeders, Peers (Swarms) වලින් දිගටම අප්ලෝඩ් වෙනවා. කීයක් කියලා මකන්න්ද? හැම එකාගෙම කම්පියුටර් එකට එකින් එක ගිහින් මකන්න පුළුවන්ද? ඒක කොච්චර සංකීර්ණ වැඩක්ද? කොච්චර් Seeders, කොච්චර Peers ලෝකේ වටේ ඇත්ද? ආන්න ඒකයි එහම ෆයිල් ටොරන්ට් වලින් මකලා දාන්න බැරි. 

***

ටොරන්ට් වල අවුල්.

ලෝකේ හැම දේකම ගුණ අගුණ දෙකම තියෙනවා වගේ Torrent වලත් පොඩි අවුල් ටිකක් තියෙනවා.

ඉන් ප්‍රධානම එක මේ Torrent හරහා නීත්‍යාණුකූල නොවන ගොණු හුවමාරු වීම. ඔයාලා ඉගෙනගත්තා නෙ, මේකෙ එහෙම දේවල් නවත්තන්න ක්‍රමයකුත් නෑ.

අනිත් කාරණාව ඔයා ටොරන්ට් එකක් බාන හැම වෙලේම ඒක අනික් අය එක්කත් බෙදාගන්න වෙනවා. ඒ කියන්නේ Download වීමක් වගේම Upload වීමකුත් වෙනවා. ඉතින් අන්න ඒ නිසා සාමාන්‍ය ඩවුන්ලෝඩ් කිරීමකට වඩා වැඩියෙන් ඩේටා පරිභෝජනය වෙනවා. Unlimited අන්තර්ජාල සබඳතා නැති අපිට ඉතින් ඒක එක්තරා අවාසියක්.

අනික් කාරණාව තමයි, Seeders ලා වැඩිවෙන තරමට Download එක වේගවත් වීම වගේම Seeders ලා අඩු වෙලා Leechers ලා වැඩි වෙන තරමට බාගත කිරීම මන්දගාමී වීම. Seeders ලා එක්කෙනෙක් වත් නැති ටොරන්ට් ගොණුවක් හැඳින්වෙන්නේ Dead Torrent එකක් හැටියට. එවැනි ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගන්න බෑ. මොකද අපිට ඒ ගොණුව ලබා දෙන්න Seeders ලා නැති නිසා.

මෑතකදී කතා වෙන්න ගත්ත තවත් අවුලක් තමයි Torrent Downloads ගොඩක් කරන පරිගණක වල Bad Sectors මතු වීම නැත්නම් Hard Disk එක ඩැමේජ් වීම. ඒක වෙන්නේ අපි අර කලින් කතා කළ විදියට, ටොරන්ට් ඩවුන්ලෝඩ් වීමකදී කුඩා කෑලි වශයෙන් ඩවුන්ලෝඩ් වෙලා ඒවා හාඩ් ඩිස්ක් එකේ තැන් තැන් වල තැන්පත් වීමයි. ඉතින් මේක SSD හාඩ් ඩිස්ක් වලදී නම් අවුලක් වෙන්නෙ නෑ. සාමාන්‍ය Magnetic Core එකක් භාවිතා වෙන හාඩ් ඩිස්ක් පාවිච්චි කරන අයට පුළුවන් මේකෙන් වෙන බලපෑම අවම කරගැනීමේ විසඳුමක් විදියට වෙනම පාටිශන් එකක් හදලා ඒක ටොරන්ට් ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එක විදියට භාවිතා කරන්න.

 *** 
හොඳයි එහෙනම්, පාඩම ඉවර කරන්න වෙලාව හරි. මං හිතන්නෙ වැඩේ දැන් පැහැදිලී, Torrent ගැන ලොකු අවබෝධයක් දැන් ඔයාට තියෙනවා. තවත් මේ ගැන ඉගෙනගන්න ආසයි නම්, Search කරන්න ඉන්ටනෙට් එකේ, තොරතුරු ඕන තරම් තියෙනවා. හැමදාමත් කියන්නේ, මම දෙන මේ දැනුම ඔයාගේ ගමනේ තල්ලුව කරගන්න. ගිහින් එන්නම්, ජය වේවා!

Post a Comment

2 Comments