Linux වල දොස්



පසුගිය ලිපියෙන් පොරොන්දු වුණ විදියට, මේ ලිපියෙන් අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Linux පාදක මෙහෙයුම් පද්ධතියක් භාවිතා කිරීමේදි මුහුණ දෙන්න වෙන ගැටළු සම්බන්ධව. ලෝකයේ සෑම දෙයකම අඩු වැඩ් වශයෙන් ගුණ, දොස් තියෙනවා වගේම Linux පාදක මෙහෙයුම් පද්ධති වලත් ගුණ වගේම දෝෂත් තියෙනවා. කලින් ගුණ වර්ණනාව කළ නිසා, අද බලමු මොනාද ඒ දොස් කියලා.

1) අතුරු මුහුණතේ රළු බව.

මම Windows 8 භාවිතා කරමින් ඉඳලා එකපාරට Ubuntu භාවිතය පටන්ගත්තා. ඊළඟට Linux Mint කියන Linux පාදක මෙහෙයුම් පද්ධතියත්, Elementary OS කියන Linux පාදක මෙහෙයුම් පද්ධතියත් භාවිතා කළා. මම මේ හැම මෙහෙයුම් පද්ධතියකම දැක්ක දෙයක් තමා අතුරු මුහුණත, නැත්නම් User Interface එකේ තියෙන රළු ස්වභාවය. ඒ කිව්වේ User Friendlyness එකේ අඩු බව සහ දැකුම්කළු නිමාවක් නැති බව.

ඇත්තටම අපිට එහෙම දැනෙන්න හේතුව අපි පොඩි කාලේ ඉඳන්ම Windows OS වලට පුරුදු වී සිටීම තමයි. ඒවගෙ තියෙන අර ලස්සන, සුමට බවට අපේ හිත ඇදිලා ගිහින් තියෙන්නෙ. පිටින් එහෙම තිබුණත් Linux OS එකක ඇතුළත බැලුවොත් Windows එක්ක බලද්දි අහසයි පොළොවයි වගේ තමයි. ඒත් බිල් ගේට්ස් කියලා තියෙනවා වගේ...

"ඔබට එය හොඳින් හදන්නට බැරි නම්, අඩුම ගාණේ එය හොඳයි කියා පෙනෙන ලෙස හරි හදන්න"

කියන පාඨය අනුව, අපි ඇත්තටම හිතුවොත් Windows කියන්නෙ හොඳයි වගේ පේන්න හැදුව OS එකක් තමයි. ඉතින් මේ ලිපියේ කියන්න යන්නෙ Linux වල දෝෂ ටික නිසා මේක මාතෘකාවෙන් පිට කතාවක්.

තවත් කාරණාවක් තමයි Linux Distro එකක් භාවිතයේදි මතුවෙන ගැටළු නිතරම Google කර කර හොයන්න ඔයාට සිද්ද වෙනවා. ඒ කියන්නෙ ඔයා සාමාන්‍යයෙන් PHP කෝඩ් කරන, මෘදුකාංග ලියන කෙනෙක් හෝ ශිෂ්‍යයෙක් නම්, ඔයාට Linux Distro එකට එකතු කරගන්න වෙන අමතර මෘදුකාංග ස්ථාපනය කරගන්නකොට මතුවෙන ගැටළු ගැන නිතරම Google කරන්න වෙනවා.

උදාහරණයක් හැටියට, ඔයාට Linux OS එකක ඉඳන් php කෝඩ් ලියන්න ඕනි නම්, LAMP stack එක (Linux , Apache, MySQL, php/python/pearl) ඉන්ස්ටෝල් කරගන්න වෙනවා. ඒක ටිකක් සංකීර්ණ පියවර ටිකක්. (හැබැයි ඒ පියවර ටික කළාට පස්සේ ඔබට පුළුවන් බොහොම බලසම්පන්න Linux Server එකක් හදාගන්න.) ඒත් Windows මෙහෙයුම් පද්ධතියකදී නම් ඔයාට පුළුවන් Xampp හරි Wamp හරි මෘදුකාංග දෙකෙන් එකක් බොහොම පහසුවෙන් ඉන්ස්ටෝල් කරලා අර කිව්ව පහසුකම් ටික ලබාගන්න.

සාමාන්‍යයෙන් Linux OS මෙහෙම සංකිර්ණ වුණාට, අලුත්ම Linux පාදක මෙහෙයුම් පද්ධති උත්සාහ දරලා තියෙනවා Windows වල වගේම සුන්දර GUI අත්දැකීමක් User ට ලබාදෙන්න. Linux Mint කියන මෙහෙයුම් පද්ධතිය Windows XP ආකාරයෙන් පේන ලෙසත්, Elementary OS කියන මෙහෙයුම් පද්ධතිය MacOS එක ලෙසට පෙනෙන ලෙසත් දැන් නිර්මාණය කරලා තියෙන්නෙ. ඉදිරියේදී අපිට බලාගන්න පුළුවන් වෙයි බොහෝවිට Windows OS විදියටම දැකුම්කළු, සුමුදු interface සහිත Linux OS ටිකකුත්.

2) මෘදුකාංග හිඟය / අසීරු භාවිතය.

 
 

මෘදුකාංග හිඟය කියනවට වඩා ඇත්තටම කියන්න වෙන්නේ මෘදුකාංග වල තියෙන අඩුපාඩු කියලා තමයි. මොකද Windows සඳහා තියෙන මෘදුකාංග වලට ආදේශක මෘදුකාංග Linux වලට බොහෝවිට තියෙනවා. ඒත් ඒ මෘදුකාංග Windows වල තරම් සුමට UI එකක් හෝ සුමට ක්‍රියාකාරිත්වයක් තියෙන ඒවා නෙවෙයි. සමහර මෘදුකාංග භාවිතයේදී ඔබට සිදුවෙනවා Terminal එක භාවිතයෙන් Command Line විදියට inputs ලබාදෙන්න.
උදාහරණයක් විදියට, Microsoft Office වෙනුවට Linux පාදක මෙහෙයුම් පද්ධති සඳහා තියෙන Office Package එක වෙන Libre Office කියන package එක දැකුම්කළු නිමාවක් තියෙන එකක් නෙවෙයි. ඒක හරියට Microsoft Office 2003 වගේ පරණ තාලයේ පෙණුමක් තමයි තියෙන්නෙ. MS Office වගේ Ribbons, Tabs වගේ ලස්සන දේවල් නම් නෑ. හැබැයි MS Office වලින් කරගන්න වැඩේ, Libre Office භාවිතයෙනුත් කරගන්න පුළුවන්.

වින්ඩෝස් වල ක්‍රියාත්මක වෙන ඇප්ස් Linux වලත් ක්‍රියාකරවන්න කරමයක් තියෙනවා. අපි ඒ ගැන වෙනම පෝස්ට් එකකින් කතා කරමු.

3) පරිගණක ක්‍රීඩා වල හිඟය.

 

අපි ඉතින් හැමෝම පරිගණක ක්‍රීඩා වලට ආසයි නේ. අපේ ගොඩක් අය පරිගණකයට ආස වෙන්නත් හේතු වෙලා තියෙන්නෙ බොහෝවිට පරිගණක ක්‍රීඩා වලට ඇති ආසාව නිසා. පරිගණක ක්‍රීඩා කියන්නෙ නරක දෙයකුත් නෙවෙයි, බුද්ධිය වර්ධනයට වගේම පරිගණකය හුරු පුරුදු උපාංගයක් බවට පත් කරගැනීමට පරිගණක ක්‍රීඩා නැත්නම් Computer Games වැදගත් වෙනවා.

ඉතින් කියන්න හැදුව කාරණාව තමයි, Linux පාදක මෙහෙයුම් පද්ධති, එහෙමත් නැත්නම් Linux Distros වල පරිගණක ක්‍රීඩා හිඟයක් තියෙනවා. ඇත්තටම ඒකට හේතුව Linux වල අවුලක් නෙවෙයි. ඒකට හේතුව ගේම්ස් හදන සමාගම් ලෝකයේ වැඩි දෙනෙක් භාවිතා කරන මෙහෙයුම් පද්ධති, උපාංග ඉලක්ක කරගෙන පරිගණක ක්‍රීඩා release කිරීම. ඉතින් Linux කියන්නෙ ඇත්තටම වැඩි දෙනෙක් භාවිතා කරන OS එකක් නොවන නිසා, Linux Distros වලට ලැබෙන පරිගණක ක්‍රීඩා වල ලොකු හිඟයක් තියෙනවා.

***

Windows 8 පාවිච්චි කරලා Ubuntu වලට මාරු වුණ කෙනෙක් විදියට මම මුහුණ දුන්න ගැටළු ටික තමයි මම මේ විදියට පෙළගැස්වුවේ. මම භාවිතා කරපු මුල්ම Linux Distro එක නැත්නම් Linux පාදක මෙහෙයුම් පද්ධතිය තමයි Ubuntu. ඊට පස්සේ මම Linux Mint කියන distro එක භාවිතා කළා. Elementary OS කියන මෙහෙයුම් පද්ධතියත් ටිකක් කල් භාවිතා කළා. ඔය තුනෙන්ම භාවිතාවේ වඩා පහසු බව දැණුන මෙහෙයුම් පද්ධතිය වුණේ Linux Mint තමයි, දැනට මම භාවිතා කරන්නේ Linux Mint XFCE edition එක තමයි. (XFCE කියන්නේ Linux Desktop Environment එකක්. අපි ඒ ගැන තවත් ලිපියකින් කතා කරමු.)

එහෙනම්, තවත් ලිපියකින් හමුවනතෙක්, ඔබට ජය!

Post a Comment

0 Comments