ඔයාගෙ කම්පියුටර් එක, ලැප් එක හෝ ෆෝන් එක අප්ඩේට් කළ යුත්තේ ඇයි?

 මේක මම මේ ලියන්න හිතක වත් තිබුණු දෙයක් නෙවෙයි, හැබැයි මම මේ කට්ටියගෙ කතා ඇහුවම මට තේරුම්ගියා තමන්ගෙ ඩිවයිසස් වල software update කරගන්නෙ ඇයි කියලා වත් ගොඩක් අයට වැටහීමක් නැති බව.

අපේ රාජකීය OS එක වුණු Windows XP වලට දිගින් දිගටම Security patch අලවමින් සහයෝගය දක්වපු Firefox browser එකත් මේ මාසෙන් පස්සේ XP වලට වගේම Vista වලටත් අප්ඩේට් දෙන එක නවත්තලා දාන්න යනවා. (Chrome එකේ updates නැවතුනේ 2015 දි.) ඒ ගැන Mozilla එකෙන් දැම්ම announcement එක මම දාන්නම් මෙතන පහළින් ගිහින් බලන්නකො. ඉතින් මහ ලොකු දෙයක් ඕන නෑ, ඒ Announcement එක කියෙව්වත් ඇති මේ Software updates වල වැදගත්කම තේරුම්ගන්න.

Firefox is ending support for Windows XP and Vista

මේ පෝස්ට් එක ලියවෙන්න අර Firefox කතාවත් හේතුවක් වුණා. අන්න ඒකයි ඕකත් දැම්මේ.

Software updates ගැන කතා කරනකොට අපිට මෙහෙයුම් පද්ධති වල updates විතරක් කතා කරලා මදි. ඒ මෙහෙයුම් පද්ධති මත ස්ථාපනය කරන Application Software වුණත් යාවත්කාලීන කරගන්න ඕන. Driver software වගේ  Utility software ත් අප්ඩේට් කරන්න ඕන. නැතිනම් අපේ උපාංගය නිවැරදි යාවත්කාලීන කිරීමක් වෙන්නේ නැහැ. හැබැයි, Applications/Utilities නැතත් OS එක හරි අප්ඩේට් කරගැනීම නම් ගොඩක්ම වටිනවා.

අපි බලමු ඇයි අපි අපේ Devices වලට software updates දෙන එක මෙච්චර වැදගත් ඇයි කියලා.

අලුත් features සහ apps ලබාගැනීම. 

අපේ ගොඩක් අය තමන්ගෙ උපාංග යාවත්කාලීන කරගන්නේ මෙන්න මේක නිසා. මේකත් බොහොම සාධාරණ කාරණාවක්. දැන් බලන්නකො අපි හරි ආසාවෙන් ඉන්නවා අපේ ෆෝන් වල Android Update එකක් කරගන්න. ඒ අලුත් Version එකේ අලුත් features අත්විඳින්න නෙ.  

තාක්ෂණය කියන එක දිනෙන් දින දියුණු වෙන දෙයක්. ගෙවිලා යන හැම තත්පරයකම මේ දියුණුව සිදුවෙනවා. ඒ වගේම අලුත් Software වුණත් එන්න එන්නම සුමට, වඩා කාර්යක්ෂම සහ දැකුම්කළු වෙනවා. නිකමට හිතලා බලන්නකො ඉස්සර Windows 98 වගේද දැන් තියෙන Windows 10? ඉස්සර Android Gingerbread වගේද දැන් තියෙන Android Oreo? (ඔව් ඔව් Android Pie සංස්කරණයත් එළියට දැම්මා තමයි, ඒත් ඒක තාම භාවිතයේ අඩුයි නෙ.)

මේ මෙහෙයුම් පද්ධති, හැම අතින්ම ලස්සන, කාර්යක්ෂම සහ වඩා පහසුවෙන් හැසිරවිය හැකි ඒවා බවට පත් වුණා. ඒ වගේම ඉතින් ඒ Software වලට ඕන කරන hardware requirements එහෙමත් වැඩි වුණා. 

දෝෂ නිරාකරණයට (Bugs Fixing)

කවදාවත්, කාටවත්, මෙන්න මේ Software එක මම හදලා ඉවරයි මේකේ කිසිම අඩුපාඩුවක් නෑ, ආයෙ කවදාවත් අප්ඩේට් කරන්න ඕනෙත් නෑ අවුරුදු 1000ක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්, කියලා කියන්න බෑ. 

ඒ මොකද කිව්වොත් Software development කියන්නේ Cycle එකක් (චක්‍රයක්). මම ඒක මේ පහතින් දාන්නම් බලාගන්න. Hardware වල දියුණුවත්, අවශ්‍යතා වල වෙනස් වීම් වගේම කොහේ හරි තියෙන දෝශයක් නිසා කවදාවත් අපිට සර්ව සම්පූර්ණයෙන් ආරක්ෂිත, කවදාවත් අප්ඩේට් කරන්න අවශ්‍ය නැති Software එකක් රිලීස් කරන්න බැහැ.
නිකමට හිතලා බලන්නකො, කොච්චර ආරක්ෂිත උපක්‍රම යොදලා හැදුවත් Windows මෙහෙයුම් පද්ධතිය තාම කට්ටිය හොරෙන් පාවිච්චි කරන්න ක්‍රැක් කරනවා. Computer Games කොහොම කළත් ක්‍රැක් කරලා රිලීස් කරනවා. අඩුම ගාණෙ කම්පියුටර් වල ආරක්ෂාවට දාන් ඉන්න Virus Guards පවා ක්‍රැක් කරනවනෙ. ඔව් ඉතින් අර සල්ලි දීලා ගන්න ඕන Kaspersky එහෙම ක්‍රැක් කරලා දාන් ඉන්නෙ කට්ටිය.   

ඉතින්, මම කියන්න උත්සාහ කළේ, කිසිම Software එකක් මෙන්න හදලා ඉවරයි කියලා එකක් නැහැ. මම අර උඩින් දැම්ම චක්‍රයේ විදියට යන්න ඕන. සොයාගන්න දෝෂ නිරාකරණය කරගන්න නම් අලුත් updates දෙන්න ඕන. අන්න ඒකත් අපි Software update කරගැනීම වැදගත් කාරණක් වීමට හේතුවක්. 

සමහර අය කියනවා, අනේ මට නම් අහවල් OS එකේ/ Software එකේ වරදක් නෑ, යසට වැඩ කරනවනේ කියලා. හැබැයි ඒ ඔයා හිතන් ඉන්න විදිය වැරදි වෙන්න පුළුවන්. මොකද, මෘදුකාංග වල හැම දෝෂයක්ම User ට පේන්නේ නෑ. එක්කෝ ඒ software එකෙන් ඔයාගෙ system එකම ස්ලෝ කරනවා වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගෙ පෞද්ගලිකත්වයට පවා හානි කරන මහ ලොකු ඔයාට නොපෙනෙන security hole එකක් තියෙන්නත් පුළුවන්.

යම්කිසි OS එකක හෝ කිසියම් Application Software එකක ඔයාට පේන්න වරදක් තිබුණේ නෑ කියලා ඒක සම්පූර්ණයෙන් දෝෂ රහිත එකක් නම් වෙන්නෑ. 

Updates වලින් පුළුවන් මේ දෝෂ මඟහරවාගන්න. අන්න ඒකත් ඔයාගේ උපාංග Updated විදියට තබාගන්න හොඳ හේතුවක්. 

ඔබගේ දත්ත සහ උපාංගයේ ආරක්ෂාවට


ඒක නිකන් අමුතු කතාවක් වගේ පෙණුනට, ආරක්ෂාව පැත්තෙන් කෙලින්ම බලපාන දෙයක් තමයි මේ Updates. එච්චර බරපතළව හිතන්න ඕන නෑ, හොඳම උදාහරණය තමයි Android security patch කියන්නෙ. අපි බලමු මේ මොකක්ද කියලා.

Android security patch එකක් කියන්නේ මාස්පතා Google සමාගමෙන් ඔයා පාවිච්චි කරන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට එවන අප්ඩේට් එකක්. ඒක Patch එකක් කියන්නෙ ඇයි.? Patch එකක් පාවිච්චි කරන්නේ මොකටද සාමාන්‍ය ජීවිතයෙදි? අපේ බයික් එකක ටයර් පන්ච් එකක් ආවම අපි පැච් එකක් දානවා. ඇත්තටම ඒ අපි කරන්නේ සිදුරක් වහන එක නෙ. අන්න ඒ වගේ Android Security Patch එකෙන් කරන්නේ Android OS එකේ හොයාගන්න Security දෝෂ වලට පිළියම් යෙදීම.
 Android කියන්නෙ ලෝකෙ වැඩිම දෙනෙක් භාවිතා කරන ජංගම මෙහෙයුම් පද්ධතිය. ඉතින් මේකේ Maintenance එක කරන් යන්න Android අයිති Google සමාගම ලොකු වැඩක් කරනවා. ඒ Maintenance එක අතරෙදි මාස්පතාම Android මෙහෙයුම් පද්ධතියේ සැඟවුණු Security holes හොයාගන්නවා, ඒ වගේම ඒවා වහන්න patch එකක් දෙනවා. ගොඩක් Flagship දුරකථන වල නම් මේ අප්ඩේට් එක මාස් පතා හෝ මාස දෙකකට, තුනකට සැරයක් එනවා. OTA - Over the air අප්ඩේට් එකක් විදියට. ඒත් ගොඩක් Mid range ෆෝන් වලට නම් මේක ඒ විදියට එනවා අඩුයි. එන ෆෝන් එහෙමත් ඇති. ඒත් Google සමාගමෙන් නම් ඉතින් හැම මාසෙම මේක දෙනවා. LineageOS වගේ Android කස්ටම් රොම් එකක් පාවිච්චි කරනවා නම්, ඔයාට මේක මාස්පතාම අප්ඩේට් කරගන්න පුළුවන්. (කස්ටම් රොම් එකක වාසියක්)

අපි මේ කතා කළේ Android ගැන. එතකොට අනික් OS වල එහෙම නැද්ද? අපොයි ඇයි නැත්තෙ. Linux OS වල සිස්ටම් / Kernel updates කොච්චර එනවද? Windows වල අප්ඩේට්ස් (බයයි නෙ ඒවට නම් 😂) ඒවත් එහෙමයි, ඕනම මෘදුකාංගයක දෝෂ හොයලා ඒවා නිරාකරණය කරගන්න වෙනවා. මොකද ඔයාට කලින්ම පෙන්නපු Software development life-cycle එකේ අන්තර්ගතයෙන් ඒක බලාගන්න පුළුවන්.

***

හොඳයි, එහෙනම්... මං හිතන්නෙ දැන් අප්ඩේට් ගන සැලකිය යුතු දෙයක් දන්නවනෙ. හැමදාම කියනවා වගේ, දැණුම හොයාගෙන යන්න, මගේ පෝස්ට් එකේ යම්කිසි වරදක් තියේ නම් කියන්න, ඒ වගේම යමක් එකතු කරන්න ඕන නම් කමෙන්ට් කරන්න. එහෙනම්, ඔබට ජය!

Post a Comment

1 Comments