මොනාද අර VPN?

ලංකාවේ පහුගිය කාලේ ඉතා දරුණුවටම කතා බහ වුණ ඉංග්‍රීසි අකුරු තුන තමා VPN. සමහරු දැන හෝ නොදැන මේ VPN කියන අටමංගල්ලේ පාවිච්චි කරන්න ගත්තා. අපේ සමහර ෆෝන් හදන අයියලා VPN දාලා දීලා 250/- ක් විතර සල්ලිත් ගත්තලු. VPN දාගත්තම තහනම් කරපු සයිට් වලට යන්න පුළුවන් වුණාලු, සමහර VPN දෙන්නේ නොමිලේ ලු, සමහර ඒවා දෙන්නේ සල්ලි වලට ලු, නොමිලේ දෙන සමහර ඒවා අනතුරු දායක ලු. අපි හැමෝම මේවා ඔහේ කියෙව්වට තේරුමක් ඇතුව නෙවෙයිනේ කියවලා තියෙන්නේ. අද අපි යමු VPN දැනගන්න.

VPN කියන අකුරු තුනේ තේරුම මොකක්ද?

 
ඔක්කොටම කලින් අපි දැනගන්න එපාය මොකක්ද මේ VPN කියන අකුරු තුනෙන් කියවෙන්නේ කියලා. VPN කියන්නේ Virtual Private Network කියන එක. ඕක සිංහලයට දැම්මොත්, "අතථ්‍ය පෞද්ගලික ජාලය" කියන එක. මෙතන අතථ්‍ය කිව්වේ අතාත්වික, එහෙමත් නැත්නම් සැබෑ ලෙසම පවතින්නේ නැති, මනඃකල්පිත වගේ එකක්. ඇයි මේකට එහෙම කැත විදියට කතා කරන්නෙ. අපි බලමු ඇයි කියලා ඉදිරියේදී. 

ඔයාට අන්තර්ජාල සැපයුම ලැබෙන හැටි.

 
අපි ඒක පැහැදිලි කරගමු සරල උදාහරණයකින්

ඔයා දැන් උපකල්පනය කරන්න ඕන, ඔයාගෙ ගෙදරට වතුර එන වතුර ලයින් එකේ තියෙන්නෙ බට නෙවෙයි, ඇළමාර්ග කියලා. අපි ක්‍රිස්තු පූර්ව බර ගණන් වලට වගේ යමු. ඔන්න දැන් ඔයාලගෙ පාර දිගට තියෙන්නේ මහ විසාල ඇළ මාර්ගයක්. (බට ලයින් නැහැ) ඔයාලගෙ ගෙදරට වතුර සැපයුම ලබාගන්න තියෙන්නේ කාණුවක්. ඒ කාණුව හරහා වතුර ගලාගෙන ඇවිල්ලා ඔයාලගෙ ටැංකියකට පිරෙනවා, එතකොට පුළුවන් ඔයාලට ඒ වතුර පරිභෝජනයට ගන්න. හරිනෙ?

ඔයාලගෙ අල්ලපු ගෙවල් වල ඇන්ටිලාගෙ වැඩේ තමයි මේ ඔයාලගෙ කාණුව දිහා හොරෙන් බලන් ඉන්නෙක. ඒ විතරක් නම් මදෑ, වතුර දෙන ජල සම්පාදන එකේ එවුණුත් බලන් ඉන්නවා ඔයාලගෙ කාණුව දිහා. ඒ බලන් ඉන්න උන්ට පුළුවන්නේ, වතුර කොච්චර ගලනවද, අපි කොච්චර වතුර පාවිච්චි කරනවද, ගලන වතුර මොන පාටද, ඒ වතුර පාරේ සාරි ගප්පි ඉන්නවද, ක්ලෝරීන් සුවඳ එනවද? වගේ අටෝරාසියක් දේවල් අරුන්ට බලන් ඉන්න පුළුවන් නෙ. 

ඔයාලගෙ ඉන්ටනෙට් කනෙක්ෂන් එකේ දත්ත ගලා යාම හරියට මෙන්න මේ කාණු සීන් එක වගේ.  අන්තර්ජාලයේ ඉඳන් (ලෝකේ කොහේ හෝ තියෙන සර්වර් එකක ඉඳන්) දත්ත ඔයා ගාවට ගලාගෙන එන්නේ මේ ඇල මාර්ගයක් වගේ පාරක.  ඔයා ඉන්ටනෙට් එකේ කරන ගොඩක් දේවල් සමහර අය බලන් ඉන්නවා

ඉන් ප්‍රධානම එකා තමයි ඔයාගෙ ISP නොහොත් Internet Service Provider නොහොත් අන්තර්ජාල සේවා සපයන්නා. (ජල සම්පාදන එකේ උන්) ඒ මොකාද ඒ? ඒ තමයි එක්කො SLT, නැත්නම් Dialog, නැත්නම් Hutch, Airtel, Etisalat... අන්න උන් ටික. එයාලා තමයි අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න ඔයාලට මාර්ගය හදලා දෙන්නේ (කාණුව කපලා දෙන්නේ) උන් නිකන් මොක්කුද වගේ කාණුව කපලත් දීලා කාණුවේ යන වතුර දිහත් බලන් ඉන්නවා. ඇයි ඒ?

අන්න ඒක තමයි අපිටත් ප්‍රශ්නෙ. අන්න එතනදි තමයි VPN එක අපිට උපකාර කරන්නේ.

VPN එකකින් වෙන්නෙ මොකක්ද? 

VPN එකකින් කරන්නෙ ඔයාගෙ ගෙදරට එන කාණුව මැද්දෙන් PVC බටයක් දාලා ඒක අස්සෙන් වතුර ගලාගෙන යන්න සෙට් කරලා දෙන එක. දැන් කාලා හමාරයි. අර ඇන්ටිලාට පේන්නෑ දැන් අපි පාවිච්චි කරන වතුර වල විස්තරේ. ජලසම්පාදනේ උන්ට පේන්නෙත් නෑ. උන්ට පේන්නෙ එකම දෙයයි, මෙයාලා වතුර මෙච්චර ප්‍රමාණයක් ගත්තා, හැබැයි ඒ වතුර බොර පාටද?, ඒ වතුර වල මාළු හිටියද? ඒ වතුර වල ක්ලෝරීන් තිබුණද? අනන් මනන් මොකවත් ඩීටේල් එකක් පේන්නෙ නෑ.

හරි, මේක උදාහරණ නැතුව අමුවෙන් කිව්වොත්, VPN එකෙන් කරන්නේ ඔයත්, අදාළ නෙට්වර්ක් එකත් (internet එක කියමුකො) අතර වෙන දත්ත ගලා යාම වෙන අයට නොපෙනෙන විදියට වහලා දාන එක. ඒක කරන්නෙ කොහොමද? ඒක කරන්නෙ Encryption වලින්. ඒ කියන්නෙ මොකක්ද? ඊළඟට බලමු!

Encryption යනු...

 
දත්ත Encrypt කරනවා කියන්නෙ මෙහෙම එකක්, 

ඔයයි ඔයාගෙ කෙල්ලට/කොල්ලටයි ඕන අම්මගෙ ෆෝන් එකෙන් මැසේජ් කරන්න. හැබැයි අම්මා ඔය මැසේජ් කියෙව්වොත් ලෝක තොප්පියයි. ඉතින් ඔයා මොකක්ද කරන්නේ? ඔයයි ඔයාගෙ කෙල්ලයි කතා වෙනවා මෙන්න මෙහෙම හොර වැඩක් කරන්න. ඔයාලා දෙන්නා යවන මැසේජ් වලට පොඩි වෙනසක් කරන්න. ඔයාලා A අකුර වෙනුවට ගහන්නෙ B අකුර. B වෙනුවට ගහන්නෙ C අකුර, C වෙනුවට ගහ්න්නෙ D අකුර. හැම අකුරක් වෙනුවටම ඊට පස්සෙ තියෙන අකුර ගන්නවා. ඔන්න උදාහරණයක්.

Baba mama gedara awa. (Normal message)

Cbcb nbnb hfebsb bxb. (Encrypted message)
 
දැන් තේරෙනවද Encryption කියන වැඩේ බරපතළකම? එක අකුරක් එහෙ මෙහෙ කරාම එන ප්‍රතිඵලය තනිකර අණ්ඩර දෙමළයක් නෙ. 

මෙහෙමයි දැන් ඕක, කොල්ලා කෙල්ලට මැසේජ් එක යවනවා කියලා හිතමු. කොල්ලා කරන්නෙ මැසේජ් එක Encrypt කරලා ඒක කෙල්ලට යවනවා. කෙල්ල දන්නවා Encrypted message එක කියවන විදිය. එයා ඒක Decrypt කරලා, ඒ කිව්වෙ තේරෙන විදියට හරවලා කියවනවා.  අම්මා ඕක කියෙව්වා කියලා වැඩක් තියෙනවද? අම්මට පේන්නෙ කිසි තේරුමක් නැති ඉංග්‍රීසි අකුරු ගොඩක් විතරයි.

හබැයි මෙතන එක අවුලක් තියෙනවා. මොකද අම්මට පුළුවන් කෙල්ලගෙ නම්බර් එක බලාගන්න. ඒකට මේ උදාහරනේදි විසඳුමක් නැති වුණාට VPN එකකදි ඒකටත් විසඳුමක් තියෙනවා. 

VPN එකකදි ඇත්තටම වෙන වැඩේ

VPN එකකදි අර උදාහරණය apply වෙන්නෙ මෙහෙමයි. මැසේජ් එක යවන කොල්ලා තමයි ඔයාගෙ කම්පියුටර් එක / ඩිවයිස් එක. මැසේජ් එක අරන් යන අම්මගෙ ෆෝන් එක තමයි ISP. ඔයා කනෙක්ට් වෙන්න උත්සාහ කරන නෙට්වර්ක් එක තමයි කෙල්ල. එතකොට ෆෝන් නම්බර් එක IP address එක කියලා ගන්න පුළුවන් (බොහෝම සරලව.)

VPN එකෙන් ඔයාගෙ Device එකත් අදාළ නෙට්වර්ක් එකත් අතර හුවමාරු වෙන දත්ත Encrypt විතරක් නෙවෙයි Encapsulation එකකුත් කරලා තමයි යවන්නේ. (Encapsulation ගැන මම පස්සෙ කියලා දෙන්නම්.) ඒ වගේම IP address එකත් වෙනස් කරනවා. ඔයාගෙ ලොකේෂන් එකත් වෙනස් කරලා පෙන්නනවා. දැන් ISP ට මෙලෝ හසරක් පේන්නෙ නෑ.

මේ විදියට VPN එක කරන වැඩේ නිසා ඔයයි, අදාළ නෙට්වර්ක් එකයි අතර ඩේටා සන්නිවේදනය හරියට බටයක් අස්සෙන් යනවා වගේ. පිට කෙනෙක්ට බටයක් තියෙන බව පෙණුනත් ඇතුළෙන් යන්නේ මොනාද කියලා පේන්නෙ නෑ. 

ඒක හරියට ඔයාගෙ ඩිවයිස් එකයි, අදාල සර්වර් පද්ධතියයි අතරේ ඇත්තටම වයර් එකක් ඇදලා සම්බන්ධ කරලා හදන පෞද්ගලික ජාලයක් වගේ. ඒත් ඇත්තටම එහෙම වයර් එකක් ඇදලා නැහැනේ, අපි කරලා තියෙන්නේ අපේ දත්ත සන්නිවේදනය තුන්වෙනි පාර්ශවයකට බලන්න බැරි වෙන්න Encrypt කිරීමක් නේ. ඒත් මේක පේන්නෙ අන්න අර වගේ වයර් එකක් ඇද්දා වගේ නිසා, තමයි...

අපි මේකට Virtual Private Network කියලා කියන්නේ. හම්මෝහ්. මේක කියලා දෙන්න යන්න වුණු වටයක්. 
හරි, කොහොම හරි අන්න ඒකයි මේකේ කන්සෙප්ට් එක.

එතකොට කොහොමද අපි අර තහනම් කරපු Facebook එකට, VPN එකක් දාගෙන ගියේ?

දැන් ඔයා දන්නවනෙ ඔයාට ලැබෙන ඉන්ටනෙට් කනෙක්ෂන් එක කාණුවක් වගේ කියලා, ඒ කාණුව දිහා ISP කියන එකා බලාගෙනත් ඉන්නවා කියලා. මොකක් හරි හේතුවක් නිසා ඔය ISP ට ඕන නම් ඔය කාණුවේ හුවමාරු වෙන දෙයක් ඔයාට යන්න නොදී නවත්තන්න, ඒක කරන්න හරි පහසුවෙන් පුළුවන්. ඔයා Facebook ලොග් වෙලා ඉන්නවා කියමුකො, එතකොට ISP ට පේනවා මේ යකා දැන් Facebook ලොග් වෙලා ඉන්නේ කියලා. (වරදවා වටහාගන්න එපා, එයාලට බෑ ඔයා facebook එකේ කරන දේවල් බලන්න. ඒකට HTTPS වගේ එන්ක්‍රිප්ෂන් වෙනම යනවා. එයාලට පුළුවන් ඔයා ෆේස්බුක් එකේ තමයි දැන් ඉන්නේ කියලා විතරක් දැනගන්න) ඒ විතරක් නෙවෙයි, ඔයා යන ඕනම සයිට් එකක් ගැන ISP ට පේනවා, මොකද මේක කාණුවක් නෙ. 

ඉතින්, රජයට ඕන වුණාම යම්කිසි අඩවියට ඔයා පිවිසෙන එක වළක්වන්න, රජය කරන්නේ ISP ට කතා කරලා කියනවා, ඔන්න ඔය ඕකුන් ෆේස්බුක් යන එක නවත්තපන් කියලා. එතකොට ISP ත් මොකාද වගේ අර කාණුවේ හයි කරනවා දැලක්, නැත්නම් පෙරණයක්, නැත්නම් Filter එකක්. ඒකෙන් Facebook සයිට් එකෙන් එන්න දත්ත (පැකට්ටු) ෆිල්ටර් කරනවා. ෆේස්බුක් එකට යන්න හදන ඒවත් ෆිල්ටර් වෙනවා. ආන්න එතකොට අපි කියනවා අපිට ෆේස්බුක් බ්ලොක් කරලා කියලා.

ඔන්න දැන් තමයි වැඩේ, ඔයා දාගන්නවා VPN එකක්, කනෙක්ට් වෙනවා අදාල VPN එකට. දැන් ඔයාට තියෙන්නේ කාණුවක් නෙවෙයි PVC බටයක්. දැන් ISP දන්නෙ නෑ මූ මොනා කරනවද කියලා. ඇත්තටම ISP ට පේනවා යමක්, ඌට පේනවා ඔයා Encrypted connection එකකින් සර්වර් එකකට සම්බන්ධ වෙලා ඉන්නවා. (VPN server එකට) ඒ සර්වර් එකට මොන මොනාදෝ යවනවා, ඒ සර්වර් එකෙනුත් මොන මොනාදෝ එවනවා. අන්න එච්චර තමයි පේන්නේ.  මේකා ලොග් වෙලා ඉන්නේ ෆේස්බුක් ද, මොකක්ද අනන් මනන් මෙලෝ දෙයක් පේන්නේ නෑ. 

ඉතින් දැන් කොහොමද ISP අදාළ ෆේස්බුක් සර්වර් එකෙන් එන Data Filter කරන්නේ? කරන්න බැහැ. එයා දාන් ඉන්න ෆිල්ටර් එකට අපි කරන වැඩ මුකුත් අහු වෙන්නේ නැහැ. ආන්න ඔහොමයි අපි ඒ කාලේ Facebook ගියේ.

***



හොඳයි එහෙනම් දැන් යම්කිසි අවබෝධයක් ඇතිනෙ මොකක්ද මේ VPN පලහිලව්ව කියලා. මම අනාගතයේ දවසක අරන් එන්නම් Encryption ගැන ලිපියක්. ඒ වගේම OpenVPN කියන තාක්ෂණය ගැනත්, ඒ වගේම හෙටම අරගෙන එන්නම් නොමිලේ භාවිතා කරන්න පුළුවන් ආරක්ෂිත VPN එකකුත්. ඒ පෝස්ට් එකේදි අපි තවදුරටත් VPN ගැන කතා කරමු.


ඇත්තටම, මේක ටිකක් බරපතල කතාවක්. මම VPN ගැන උඩින් අතගෑමක් විතරයි මේ කළේ. VPN ගැන වඩා පුළුල් අවබෝධයක් අවශ්‍ය කෙනෙක්ට ඉන්ටනෙට් එකේ වෙබ් අඩවි වලින් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. මේක මම ලිව්වේ VPN කියන්නෙ මොකක්ද නොදැන VPN පාවිච්චි කරන අයට ඒ ගැන යම් අවබෝධයක් ලබාදීම පමණයි. ඔයාලට මේ තල්ලුව ඇති, විශයට ආස කෙනෙක් නම් මේ තල්ලුවෙන් ඔයා ගොඩක් ඉස්සරහට යනවා. එහෙනම්, අදට සමුගන්නම්. ඔබට ජය!

Post a Comment

2 Comments