WhatsApp ගිණුමක් අවලංගු වීමට හේතු.

අපි හීනෙන් වත් දකින්න අකමැති භයානක දේවල් තියෙනවනෙ. අන්න එහෙම භයානක හීනයක් ගැන තමයි මේ. උදේම ෆෝන් එක අතට අරන් WhatsApp ඕපන් කරනකොට මෙන්න මෙහෙම වැටුණොත් මොකක්ද කරන්න ඕන?
Your phone number is banned from using WhatsApp. Contact support for help.
ඔළුව හැරුණ අතේ දුවන්න හිතෙයි, ඉන්ටනෙට් එකේ අතර අතේ search කරයි. ඒත් මේක හදාගන්න ක්‍රමයක් නම් ලැබෙන එකක් නෑ. එකම විසඳුම WhatsApp සමාඟම සම්බන්ධ කරගන්න එක. ඒත් එහෙම කළත් ගිණුම ආපහු සක්‍රීය වීම ගැන බලාපොරොත්තු තියාගන්න බෑ.

එහෙනම් අපි මොකක්ද කරන්න ඕන? මාරාන්තික වෛරසයකින් (HIV වගේ එකකින්) බේරෙන්න නම් මොකක්ද කරන්න ඕන? ඒක හැදෙන එක වළක්වාගන්න ඕන. අන්න ඒ වගේ, මේ භයානක සිද්දියෙන් ගැලවෙන්න නම් වැඩේ වෙන්න කලින් දැනුවත් වෙන්න ඕන. වුණාට පස්සෙ ඉතින් සොරි තමයි.

දැන් අපි බලමු ඇයි WhatsApp අකවුන්ට් එකක් මෙහෙම Ban වෙන්නේ, එහෙමත් නැත්නම් අවලංගු වෙන්නේ කියලා.

මේකට බලපාන හේතු ගොඩක් තියෙනවා. මෙයින් එකක් හෝ කිහිපයක් වීම නිසා ඔබේ WhatsApp ගිණුම පූර්ව දැනුම්දීමකින් තොරවම සදාකාලිකව අවලංගු කරලා දාන්න පුළුවන්.

1) තෙවන පාර්ශවීය ඇප්ස් භාවිතා කිරීම.

මේ කියන්නෙ මොකක්ද? අපි මේක සරල කරගමු. තෙවන පාර්ශවීය ඇප්ස් කියන්නෙ මොනාද කියලා මම කියන්නම්. මේ අවුල එන්නේ Android පාවිච්චි කරන අයට. මොකද iOS (Apple iPhone) භාවිතා කරන අයට කොහොමත් Apple Store එකෙන් විතරයි ඇප්ස් ගන්න පුළුවන්.

සමහරු දන්නවා ඇති නේ WhatsApp Plus කියලා Android ඇප් එකක් ගැන. මේක හදලා තියෙන්නේ Original WhatsApp apk එක එහෙමත් නැත්නම් Android පැකේජ් එක අරගෙන එඩිට් කිරීමෙන්. මේවා Play Store එකට දාන්න තහනම්. ඒ නිසා apk ගොණුවක් විදියට බාගත කරගෙන ඉන්ස්ටෝල් කරගන්න ඕන. මේකෙ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍ය WhatsApp ඇප් එකට වඩා ගොඩක් වැඩියෙන් features එකතු කරලා තිබීම. ඒවට උදාහරණ නම්

  1. Themes භාවිතා කිරීමේ හැකියාව.
  2. තමන් කැමති අකුරු මෝස්තරයක් දමා ගැනීමේ හැකියාව.
  3. Online සිටින බව සැඟවීමේ හැකියාව.
  4. නිතරම Online සිටින බව අනික් අයට පෙන්වීමේ හැකියාව.
ආදී නානාප්‍රකාර එකතු කිරීම් ගොඩක් තියෙනවා. මෙන්න මේ features නිසා සමහරු Whatsapp Plus වගේ තෙවන පාර්ශවීය Apps භාවිතා කරනවා. නමුත් පසුව වැඩ වරද්දා ගන්නවා. මෙහෙම ඇප් එකක් භාවිතා කිරීම ඔබේ අංකය WhatsApp සේවාවෙන් සදාකල් අවලංගු වී යාමට හේතුවක්.

2) ඔයාගෙ නම්බර් එක සේව් කරගෙන නැති කෙනෙක්ට හෝ පිරිසකට මැසේජ් විශාල ප්‍රමාණයක් යැවීම.

මේ කියන දේ සරල කරොත්, මෙහෙම හිතන්න.
ඔයාගෙ යාළුවෙක් ඉන්නවා එයා ඔයාගෙ නම්බර් එක සේව් කරගෙන නැහැ. ඔයා ඒ බව නොදැන එයාට දිගටම මැසේජ් කරනවා. යාළුවට රිප්ලයි කරන්නත් අමතක වෙලා හෝ හිතලම රිප්ලයි නොකරම ඉන්නවා. එතකොට WhatsApp සිස්ටම් එකෙන් ඔයාව Spammer කෙනෙක් විදියට අල්ලගන්නවා. Spammer කෙනෙක් කියන්නෙ කරදරකාරි විදියට අනික් අයට පණිවුඩ යවමින් කුමක් හෝ යටි අරමුණක් සහිතව වැඩ කරන කෙනෙක්ට. මේ යටි අරමුණ එක්කෝ වෛරස් එකක් පැතිරවීම වෙන්න පුළුවන්, නැත්නම් මොකක් හරි පිරමීඩ ආකෘතියක ව්‍යාපාරයකට කට්ටිය එකතු කිරීම වෙන්න පුළුවන්. ඒ මුකුත්ම නැතුව නොදැනුවත්ව කරන දේකින් ඔයාටත් Spammer කියන ලේබලය වදින්න පුළුවන්.

මේ විදියට ලේබල් වෙන්න පුළුවන් තවත් දෙයක් තමයි මොකක් හරි නොමඟ යවන සුළු ලිංක් එකක් ක්ලික් කිරීම. මම ඊයේ දැක්කා වට්සැප් වලට ස්ටිකර්ස් ඕන නම් ක්ලික් කරන්න කියලා තියෙන ලිංක් එකක්. ඒක ක්ලික් කරාම ඉබේම ඒ ලිංක් එක, තමන් ඉන්න ගෲප් වලටයි, කලින් චැට් කරපු අයටයි යනවා. අන්න එහෙම සිද්දියකදීත් ඔයාව Spammer කෙනෙක් විදියට ඔයා නොදැනුවත්ව අහු වෙන්න පුළුවන්.

Spamming කියන්නෙ පණිවුඩ හුවමාරු සේවාවන් වල අනිවාර්යයෙන්ම එළවා දැමීමේ හේතුවක්. ඒක WhatsApp වලටත් පොදුයි. ඉතින්, පයින් ගහලා එළවනවා.

3) කෙටි කාලයක් ඇතුළත බොහෝ දෙනෙක් විසින් ඔයාව බ්ලොක් කිරීම.

මේක මෙහෙම වෙන්න පුළුවන්. ඔයා ඉන්න ගෲප් එකක ඔයා වලියක් දාගෙන ඒකෙ පිරිසක් එක්ක ගැටුමක් ඇති කරගන්නවා. එතකොට ඒ ගෲප් එකේ පණහක් විතර එකපාරට ඔයාව බ්ලොක් කරනවා කියමුකො.

අන්න ඒකත් WhatsApp system එකෙන් සැක කටයුතු දෙයක් විදියට දකිනවා. මෙච්චර පිරිසක් එකවට මේ මනුස්සයව බ්ලොක් කරන්නේ, මේකාගෙ මොකක් හරි අවුලක් ඇති කියලා detect වෙනවා. අන්න එතකොටත් ඔයාගෙ ගිණුම සදහටම අක්‍රිය වෙන්න පුළුවන්.

4) ඔයාගෙ නම්බර් එක සේව් කරගෙන නැති විශාල පිරිසක් එකතු කරගෙන Group chat එකක් සෑදීම.

මේක පැහැදිලි කරන්නත් මම උදාහරණයක් දෙන්නම්. හිතන්නකො ඔයා ටියුෂන් ගුරුවරයෙක් කියලා. ඔයාට ඕන වෙනවා ඔයාගෙ පංති තියෙන දවස් ගැන ළමයි 1000කට විතර දැනුම් දෙන්න. ඔයා මොකක්ද කරන්නෙ, මොකක් හරි ක්‍රමවේදයකින් මේ ළමයින්ගෙ නම්බර් ටික අරගෙන ඒවා දුරකථනයේ සේව් කරගන්නවා. ඊට පස්සේ ඒ නම්බර් සේරම Group එකකට ඇඩ් කරලා මැසේජ් එක දානවා "මගේ පංති තියෙන්නේ අහවල් වෙලාවටයි, ළමයි එදාට එන්න" කියලා. අර ළමයි ඔක්කොම ඔයාගෙ නම්බර් එක එයාලගෙ ෆෝන් වල සේව් කරගෙන නැහැනෙ. අන්න එතකොට මේක Spamming group එකක් යටතට වැටෙනවා.

මේ විදියට විශාල පිරිසකට WhatsApp පණිවුඩ යවන්න ඕන නම්, WhatsApp business tools භාවිතා කරන්න ඕන. ඒකට සෑහෙන ලොකු වියදමක් දරන්න වෙනවා. අර කිව්ව විදියට ගෲප් හදාගෙන කරන්න ගියොත් නම්බරේ ban කරන් ඉන්න පුළුවන්.

5) කරුමේ

මේක ඉතින් නොදාම බෑ. මොකද ඔය මුකුත් නොකර Ban වෙන නම්බර්ස් තියෙනවා. සමහරවිට WhatsApp system අවුල් නිසා, එකපාරටම හෙණ ගැහුවා වගේ නම්බර් එක අයින් වෙන්න පුළුවන්. එතකොට කරන්න දේකුත් නැහැ. සමාගම සම්බන්ධ කරගෙන මේ අවුල ලිහන්න හැදුවත් ඒක සාර්ථක වීමේ හැකියාව අවමයි.

අනික් කාරණාව, සමහර අය කියනවා 18+ දේවල් WhatsApp හරහා හුවමාරු කරගැනීම නිසා ගිණුම අක්‍රීය වෙන්න පුළුවන් කියලා. ඒත් මම මේක විශ්වාස කරන්නෙ නැහැ. මොකද, WhatsApp හරහා කරන සියළු සන්නිවේදන කටයුතු End to End Encryption මඟින් ආරක්ෂා කරලයි තියෙන්නේ. (Encryption ගැන දැනගන්න මගේ කලින් පෝස්ට් කියවන්න.) ඉතින් එහෙම ආරක්ෂිත මැසේජ් WhatsApp සමාගමට කියවීමේ හැකියාවක් නැහැ. මම දන්න විදියට නම් අපි ෂෙයා කරගන්න මුකුත් දේවල් කාටවත් දකින්න බැහැ. ඉතින් අපි හුවමාරු කරගන්නේ 18+ දෙයක්ද, මොකක් හරි රහස්‍ය ලියවිල්ලක්ද කියන එක අතරමැදියෙක්ට දැනගැනීමේ හැකියාවක් නැහැ.

එබැවින් එහෙම හේතුවක් නිසා ඔයාගෙ WhatsApp ගිණුම ban වීමේ හැකියාවක් නෑ. මම මේ 18+ ඒවා හුවමාරු කරගන්න දිරි ගැන්වීමක් කරනවා නෙවෙයි, මේවගෙ තාක්ෂණික පදනම තමයි මම මේ පැහැදිලි කළේ.

මම මේ කරුණු හෙව්වේ අන්තර්ජාලයෙන්, ගොඩක් සංෂිප්තව තිබුණ දේවල් දීර්ඝ වශයෙන්, සිංහලෙන් ඔන්න මම පැහැදිලි කළා. ඔයාලත් දන්නවා ඇති මේ WhatsApp ban කිරීම් සම්බන්ධයෙන්, ඒ දේවල් ගැන මාවත් දැනුවත් කරන්න පුළුවන් කමෙන්ට් එකක් දාලා. එහෙනම්, නැවත හමුවෙමු. ඔබට ජය!

Post a Comment

1 Comments