සිංහල Podcast අහමු.


ඔබ සිංහල බ්ලොග් කියවන කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම ආස  වෙන දෙයක් තමයි සිංහල Podcast කියන්නෙ.

Podcast එකක් කියන්නෙ මොකක්ද?

පොඩ්කාස්ට් එකක් කියන එක ගැන දළ අදහසක් දුන්නොත්, ඒක හරියට radio program එකක් වගේ. ඒත් මේකේ වෙනස තමයි ඔයාලට පුළුවන් ඔයා කැමති වෙලාවක මේ වැඩසටහන Download කරගෙන හෝ online stream කරලා හරි අහන්න.

පොඩ්කාස්ට් කියන්නේ ශ්‍රව්‍යමය මාර්ගයෙන් (ඇසීමෙන්) තොරතුරු සන්නිවේදනය කරන ක්‍රමයක්.

සිංහල Podcast වල කතා වෙන්නේ මොන වගේ දේවල් ද?


ඔයාට අද වෙනකොට විවිධ දේවල් ගැන කතාවෙන සිංහල පොඩ්කාස්ට්‍ බොහොමයක් හොයාගන්න පුළුවන්. බොහෝ විට ඒවගෙ කතාවෙන දේවලුත් විවිධයි.

ඒ දේවල් වලින් ටිකක් ලැයිස්තුවක ලිව්වොත් මෙන්න මේ වගේ ලයිස්තුවක් ලියාගන්න පුළුවන්.
  • විද්‍යාව
  • තාක්ෂණය
  • පුවත්
  • ඉතිහාසය
  • මනෝ විද්‍යාව
  • චිත්‍රපට
  • සංගීතය
  • කාලීන විදුවීම්
සහ, මීටත් ව්ඩා බොහොම පුළුල් ව පැතිරුණු විශය පරාසයක් ගැන කතා වෙන සිංහල පොඩ්කාස්ට් ඔයාට දැකගන්න පුළුවන් වේවි.

පොඩ්කාස්ට් කරන්නේ මොන වගේ අය ද?


බොහෝවිට පොඩ්කාස්ට් එකක් කරන්නේ යම් අදාළ විශයක් ගැන ආසාවක් දක්වන, ඒ විශය ගැන දැනුමක් ඇති අය විසින්, තම්න් දන්නා දේ අනෙක් අයට කියාදීමේ ආසාවක් ඇති අය විසින්.

මෙයින් සමහර පොඩ්කාස්ට් වලට සමහර විශය ක්ෂේත්‍ර වල ප්‍රවීණයන්, විශේෂඥ්ඥයින් ආරාධිත අමුත්තන් විදියට කැඳවාගෙන ඇවිල්ලා පවා එයාලගේ දැණුම අන් අයට බෙදා දීම සිදුවෙනවා.

පොඩ්කාස්ට් අසන්නෙක් විදියට මට ලැබෙන ප්‍රතිලාභ මොනවද?


පොඩ්කාස්ට් එකක් කියන්නෙ ඇත්තටම ගත්තොත් ලොකු දැණුම් සම්භාරයක්. ඔයාට පුළුවන් ඔයා ආස කරන විශය ක්ෂේත්‍රයක් ගැන පුළුල් දැනුමක් ලබාගන්න. ඒ වගේම ඒ සමහර පොඩ්කාස්ට් වලින් හදලා තියෙන Facebook Groups වගේ communities වලට එකතු වෙලා, බොහෝ විශයන් ගැන දැණුමක් සහිත අය එක්ක අදහස් හුවමාරු කරගන්නත්, ඔයාගෙ ජීවිතයට වැදගත් වෙන බොහෝ කරුණු කාරණා ඉගෙනගන්නත් ඔයාට හැකි වේවි.

අපි මේ සිංහල පොඩ්කාස්ට් අහන්නෙ කොහොමද? 

  • Desktop Browser එකකින්.
ඔයා අන්තර්ජාලයට නිතරම පිවිසෙන්නේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකකින් නම්, ඔයාට සිංහල පොඩ්කාස්ට් හැම එකක්ම වගේ බොහොම පහසුවෙන් අහන්න හොඳම විදිය තමයි මෙන්න මේ වෙබ් අඩවිය.


  • Smart Phone එකෙන්.
ඔයා පාවිච්චි කරන්නේ Android Phone එකක් නම් ඔයාට පුළුවන් මෙන්න මේ සිංහල පොඩ්කාස්ට් වෙනුවෙන්ම හැදුව ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේකෙ කිසිම වෙළඳ දැන්වීමක් හෝ subscription එකක් නැහැ. සම්පූර්නයෙන් නොමිලේ භාවිතා කරන්න පුළුවන්.



එහෙමත් නැත්නම් Soundcloud වගේ ඇප් එකකිනුත් මේ පොඩ්කාස්ට් අහන්න පුළුවන්. නමුත් සමහර පොඩ්කාස්ට් Soundcloud වලට ඇතුළත් කරන්නේ නැහැ. 

ඔයාගෙ ෆෝන් එක Apple එකක් නම් Apple Podcast කියන ඇප් එකේ Search කරලා ඔයාට සිංහල පොඩ්කාස්ට් හොයාගන්න පුළුවන්. (සිංහල පොඩ්කාස්ට් වල නම් ටික හොයාගන්න අර මම කලින් දුන්න podcasts.lk අඩවියට යන්න.) 

***

සිංහල පොඩ්කාස්ට් ගැන ගෙනාව ලිපිය මෙතනින් අවසන් කරන්නයි මේ සූදානම. මම නම් සිංහල පොඩ්කාස්ට් අහන්න පටන්ගත්තේ Illumination කියන මලින්ද අලහකෝන් සහ සත්‍යජී කැන්දවල කියන දෙන්නා කරන පොඩ්කාස්ට් එකෙන්. ලංකාවේ පොඩ්කාස්ට් කියන සංකල්පය ජනප්‍රිය වුණෙත් මෙන්න මේ පොඩ්කාස්ට් එක නිසා. මම කැමතියි ඔයාලත් ඒ පොඩ්කාස්ට් එකෙන්ම ඔයාලගෙ පොඩ්කාස්ට් ඇසීම ආරම්භ කරනවා නම්. එහෙනම්, දැනට සමුගන්නම්. ඔබට ජය!

Post a Comment

0 Comments